එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර ලීඞ්ස්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයට අද (25 වැනිදා) තරගය නිමාවන විටදී පළමු ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටින බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 19 කට කඩුල්ලක් අහිමිකරගෙන සිටියේය. ක්රේග් බ්රැත්වෙයිට් ලකුණු 13 ක් සහ දේවේන්ද්ර බිශෝ ලකණක් ලබාගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිති.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්තයට සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 258 ක් පමණි. විශිෂ්ට පිතිහරඹයක නිරතවෙමින් කඩාවැටුණු එංගලන්ත ඉනිම තරමක් දුරට ගොඩනැගූ බෙන් ස්ටෝක්ස් ශතකයක් (100) ලබාගැනීමට සමත්විය. පන්දු 124 කදී වාර්තාවූ බෙන් ස්ටෝක්ස්ගේ ඉනිමට හතරේ පහර 17 ක් ඇතුළත් විය. නායක ජෝ රූට් පන්දු 98 කදී හතරේ පහර 9 ක් සමගින් ලකුණු 59 ක් රැස්කිරීමට සමත්විය.
වේගපන්දු යවන්නන් වන කෙමාර් රෝච් සහ ශැනන් ගේබ්රියල්ගේ පන්දු යැවීම හමුවේ දණ නමන්නට එංගලන්ත පිතිකරුවන්ට සිදුවිය. ශැනන් ගේබි්රයල් ලකුණු 51 කට කඩුලු 4 ක් සහ කෙමාර් රෝච් ලකුණු 71 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.