Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දියාවේ අපරාජිත වාර්තාව බිඳවැටේ

ඉන්දියාවේ අපරාජිත වාර්තාව බිඳවැටේ

editorial - 2019 ජුනි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම : රොෂාන් ගුණරත්න)

ජොනී බෙයාර්ස්ටෝ (111) සහ ජේසන් රෝයී (66) එක්ව පළමු කඩුල්ල සඳහා පැවැත්වූ වේගවත් ලකුණු 160 ක ශතක සම්බන්ධතාවය හේතුවෙන් බර්මින්හැම්හිදී අද (30 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී ඉන්දියාවට එරෙහිව ලකුණු 31 ක ජයක් හිමිකර ගැනීමට එංගලන්තය සමත්විය. එංගලන්ත කණ්ඩායමේ මෙම ජයග්‍රහණයත් සමගින් ඉන්දීය කණ්ඩායමේ අපරාජිත වාර්තාවද බිඳවැටුණි.

ජයග්‍රහණය සඳහා ලකුණු 338 ක ඉලක්කයක් හඹාගිය ඉන්දියාවට ඕවර 50 කදී කඩුලු 5 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 306 ක් පමණි.

පළමු කඩුල්ල ලෙස ලෝකේෂ් රාහුල් ලකුණු නොළඹාම පිටියෙන් ඉවත්වන විට දෙවැනි කඩුල්ල සඳහා එක්වූ රෝහිත් ශර්මා සහ විරාට් කෝලී පන්දු 155 කදී ලකුණු 138 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් ඉලක්කය කරා යෑමට අවශ්‍ය අඩිතාලම දමාදිමට සමත්වූහ.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි ශතකය පන්දු 106 කදී ලබාගත් රෝහිත් ශර්මා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ ලබාගත් 25 වැනි ශතකය ලෙසද වාර්තාවේ. පන්දු 109 කට මුහුණදුන් ඔහුගේ ඉනිම හතරේ පහර 15 කින් අලංකාර විය.

රෝහිත් ශර්මාට අනගි සහයක් ලබාදෙමින් ඉන්දීය ලකුණු පුවරුව ඉහළ දැමූ විරාට් කෝලී සිය 54 වැනි එක්දින අර්ධ ශතකය පන්දු 59 කදී ලබාගැනීමට සමත්විය. ලයම් ප්ලන්කට්ගේ පන්දුවක් හමුවේ අතිරේක ක්‍රීඩක ජේම්ස් වින්ස් අතට උඩපන්දුවක් දෙමින් කෝලී දැවීයන විට ලකුණු 66 ක් රැස්කර සිටියේය. පන්දු 76 කට මුහුණදුන් ඔහුගේ ඉනිමට හතරේ පහර 7 ක් ඇතුළත් විය.

රිෂාබ් පාන්ට් (32), හර්දික් පාණ්ඩ්‍යා (45) සහ මහේන්ද්‍ර සිං දෝනී (නොදැවී 42) වේගවත් ලකුණු රැස්කිරීමක නිරතවුවද සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට අපොහොසත් වූහ.

ලයම් ප්ලන්කට් කඩුලු 3 ක් සහ ක්‍රිස් වෝක්ස් කඩුලු 2 ක් දවාගනිමින් එංගලන්ත පිලේ ජයග්‍රහණයට දායකවූහ.
සාර්ථක ආරම්භයක් ලබාගත් ජොනී බෙයාර්ස්ටෝ (111) සහ ජේසන් රෝයී (66) එක්ව පළමු කඩුල්ල සඳහා පැවැත්වූ වේගවත් ලකුණු 160 ක ශතක සම්බන්ධතාවය හේතුවෙන් කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය ඕවර 50 අවසානයේදී කඩුලු 7 ක් දැවී ලකුණු 337 ක් රැස්කිරීමට සමත්විය.

30 වැනි ඕවරය අවසානයේදී ලකුණු පුවරුව 202 ක් ලෙස සටහන් වුවද 39 වැනි ඕවරය අවසන් වනවිට කඩුලු 2 ක් අහිමිකර ගනිමින් එංගලන්ත පිතිකරුවන්ට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 28 ක් පමණි. නමුත් 40 වැනි ඕවරයේ සිට නියමිත ඕවර සංඛ්‍යාව අවසන් වනවිට ලකුණු 107 ක් එක්කර ගැනීමට එංගලන්ත පිතිකරුවෝ සමත්වූහ. 31 වැනි ඕවරයේ සිට 39 ඕවරය දක්වා ලකුණු රැස්කිරීම අඩාලවීම හේතුවෙන් ඉතා පහසුවෙන් ලකුණු 400 සීමාව කරා යෑමට එංගලන්තයට තිබූ අවස්ථාව මඟහැරී ගියේය.

පළමු කඩුල්ල සඳහා පන්දු 133 කදී පැවැත්වූ ලකුණු 160 ක සම්බන්ධතාවය අතිරේක ක්‍රීඩක රවින්ද්‍ර ජදේජගේ දක්ෂ උඩපන්දු රැකීම හමුවේ අවසන්වන විට ජේසන් රෝයී පන්දු 57 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 66 ක් රැස්කර සිටියේය.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ පළමු ශතකය පන්දු 90 කදී ලබාගත් ජොනී බෙයාර්ස්ටෝ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ ලබාගත් 8 වැනි ශතකය ලෙසද වාර්තා වන්නේය. ලකුණු 111 ක් රැස්කර සිටියදී රිෂාබ් පාන්ට් අතට උඩපන්දුවක් දෙමින් බෙයාර්ස්ටෝ දැවීයන විට පන්දු 109 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 10 ක් සිය ඉනිමට එක්කරගෙන සිටියේය.

මැදපෙළ පිතිකරු බෙන් ස්ටෝක්ස් වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 54 කදී ලකුණු 79 ක් රැස්කරමින එංගලන්ත ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත්විය. ඔහුගේ ඉනිහ හයේ පහර 3 කින් සහ හතරේ පහර 6 කින් අලංකාර විය.

බෙන් ස්ටෝක්ස් සමගින් එක්ව සිවුවැනි කඩුල්ල සඳහා පන්දු 63 කදී ලකුණු 70 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ ජෝ රූට් දැවීයනවිට පන්දු 54 කදී ලකුණු 44 ක් රැස්කරමින් එංගලන්ත ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත්විය.

එංගලන්ත පිලේ දැවීගිය කඩුලු 7 න් 5 කට හිමිකම් කියූ මොහොමඞ් ශාමී සිය ඕවර 10 තුළඳී ලකුණු 69 ක් ලබාදුන්නේය. අනෙක් පන්දු යවන්නන් පහරපිට පහර වදිනවිට සිය ඕවර 10 ලකුණු 44 කට සීමාකර ගැනීමට ජස්පීට් බුම්රාට හැකිවිය.


එංගලන්තය - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 337
(ජේසන් රෝයි 66, ජොනී බෙයාර්ස්ටෝ 111, ජෝ රූට් 44, බෙන් ස්ටෝක්ස් 79, ජොස් බට්ලර් 20, මොහොමඞ් ශාමී 69/5)

ඉන්දියාව - ඕවර 50 කදී කඩුලු 5 ක් දැවී 306
(රෝහිත් ශර්මා 102, විරාට් කෝලී 66, රිෂාබ් පාන්ට් 32, හර්දික් පාණ්ඩ්‍යා 45, මහේන්ද්‍ර සිං දෝනී නොදැවී 42 , ලයම් ප්ලන්කට් 55/3, ක්‍රිස් වෝක්ස් 57/2)

 

...


අදහස් (0)

ඉන්දියාවේ අපරාජිත වාර්තාව බිඳවැටේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.