Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දියාවට ලකුණු 125ක ජයක්

ඉන්දියාවට ලකුණු 125ක ජයක්

editorial - 2019 ජුනි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම : දමින්ද විජේසූරිය)

ඕවර 34.2  - කොදෙව් පිල 143

ලකුණු 36 ක් තුල අවසන් කඩුලු 5 දවාගත් ඉන්දීය පන්දු යවන්නෝ ජයග්‍රහණය තමන් සතු කරගැනීමට සමත්වූහ. ඒ අනුව ප්‍රසාද ලකුණු 11 ක් ලබාගෙන ඇති ඉන්දියාව ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්විය. 

අද තරගයේ පරාජයත් සමගින් අවසන් පූර්ව වටයට පිවිසීමේ දොරටු වැසීගිය තෙවැනි කණ්ඩායම බවට කොදෙව් පිල සමත්විය.

ආරම්භයේ සිටම ප්‍රබල කොදෙව් පිලට පීඩනයක් යවමන් පන්දු යැවූ මොහොමඞ් ශාමී ඕවර 6.2 කදී ලකුණු 16 කට කඩුලු 4 ක් දවාගනිමින් ඉන්දියාව ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය.

තරගයේ වීරයාට හිමි සම්මානය දිනාගැනීම ඉන්දීය පිලේ නායක විරාට් කෝලී සමත්විය.

...................................................................................................................................................................

ඕවර 25 - කොදෙව් පිල 101/5

ඕවර 15 ක් අවසන් වනවිට ලකුණු 50 කට කඩුලු 2 ක් අහිමිකරගෙන සිටි කොදෙව් පිල අවසන් ඕවර 10 තුලදී ලකුණු 51 කට තවත් කඩුලු 3 ක් අහිමිකර ගත්තේය.

සුනිල් ඇම්බි්‍රස් සහ නිකලස් පූරන් තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 55 ක සම්බන්ධතාවයක් පවත්වමින් කොදෙව් ඉනිම ගොඩනැගුවද ඇම්බි්‍රස් දැවීයාමත් සමගින් එම සම්බන්ධතාවයට තිත තැබුණි.

ජයග්‍රහණය සඳහා කොදෙවි පිලට ඕවර 25 කදී ලකුණු 168 ක් ලබාගත යුතුව ඇත.

...................................................................................................................................................................

ඕවර 15 - කොදෙව් පිල 50/2

ලකුණු 16 ක් තුළ කොදෙව් පිතිකරුවන් දෙදෙනෙකු දැවී ගියද තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 34 ක නොබිඳුණු සම්බන්ධතාවයක් පවත්වමින් ඉනිම ගොඩනැගීමට සුනිල් ඇම්බි්‍රස් සහ නිකලස් පූරන් සමත්වූහ.

කොදෙව් පිතිකරුවන් මෙල්ල කරමින් කොදෙව් දෙවැනි කඩුල්ල ලෙස ශායි හෝප් දවාගැනීමට මොහොමඞ් ශාමී සමත්විය.

ජයග්‍රහණය සඳහා ඕවර 35 කදී ලකුණු 219 ක් රැස්කිරීමට කොදෙව් පිලට සිදුවනු ඇත.

...................................................................................................................................................................

ඕවර 5 - කොදෙව් පිල 10/1

ඉන්දීය පන්දු යවන්නන් හමුවේ මන්දගාමී ලකුණු රැස්කිරීමක නිරතවූ ක්‍රිස් ගේල් ලකුණු 6 ක් රැස්කර සිටියදී මොහොමඞ් ශාමීගේ පන්දුවක් හමුවේ කේදර් ජාදව් අතට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය. පන්දු 19 කට මුහුණදුන් ගේල්ට ලබාගැනීමට හැකිවූයේ එක් හතරේ පහරක් පමණි.

ආරම්භක පිතිකරුවන් තමන්ගේ පාලනයේ තබාගනිමින් පන්දු යැවීමට මොහොමඩ් ශාමී සහ ජස්ප්‍රිට් බුම්රා සමත්වූහ.

...................................................................................................................................................................

 

ඕවර 50  - ඉන්දියාව 268/7

දෙවරක්ම වාසනාව ලද මහේන්ද්‍ර සිං දෝනි (නොදැවී 56) සහ හර්දික් පාණ්ඩ්‍යා (46) එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 70 ක සම්බන්ධතාව නිසා මැන්චෙස්ටර්හි ඕල්ඞ් ට්‍රැෆර්ඞ් ක්‍රීඩාංගණයේදී අද (27 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී ඉන්දීය පිල නියමිත ඕවර 50 අවසන් වන විට කඩුලු 7 ක් දැවී ලකුණු 268 ක් ලබාගත්තේය. 

ඉන්දීය නායක විරාට් කෝලි ලකුණු 72 කට දැවී යාමෙන් පසුව එක්වූ මහේන්ද්‍ර සිං දෝනි සහ හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 250 සීමාවෙන් ඔබ්බට ඉන්දීය පිල ගෙන ගියහ. පන්දු 38 කින් ලකුණු 46 ක් ලබාගත් පාණ්ඩ්‍යාගේ ඉනිම හතරේ පහර 5 කින් සමන්විත විය. 

එහෙත් අවසන් ඕවර දෙකේදී කොදෙව් පිතිකරුවන් ගල ග්‍රහයන් ගත් ඉන්දීය කඩුලු රකින්නා ලකුණු 16 ක් උදුරා ගත්තේ තනි ලකුණු කිහිපයක්ම ප්‍රතික්ෂේප කරමිනි. 

දෝනි ලකුණු 8 ක් ලබා සිටියදී ඉතාමත් පහසු ස්ටම්ප් කිරීමකට හසුකරගත හැකිව තිබුණද කොදෙව් කඩුලු රකින්නා වූ ෂායි හෝප් විසින් එම අවස්ථාව අපතේ හරින ලදි. එයින් නිසි ප්‍රයෝජන ගත් ඉන්දීය පිලේ හිටපු නායකයා පන්දු 61 කින් ලකුණු 56 ක් ලබාගත්තේය. 

...................................................................................................................................................................

ඕවර 30  - ඉන්දියාව 148/4

පන්දු 11 ක් ඇතුළතදී ඉන්දීය පිතිකරුවන් දෙදෙනකු ආපසු ක්‍රීඩාගාරයට යැවූ කෙමර් රෝච්ගේ පන්දු යැවීම හේතුවෙන් මැන්චෙස්ටර්හි ඕල්ඞ් ට්‍රැෆර්ඞ් ක්‍රීඩාංගණයේදී අද (27 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී කොදෙව්වෝ නැවතත් තරගයට අවතර්ණ. වූහ. වරෙක ලකුණු 126 කට කඩුලු 2 ක් වූ ඉන්දීය ලකුණු පුවරුව 30 වැනි ඕවරය නිමාවේදී කෙමර් රෝච් විසින් කඩුලු 4 කට 148 ක් ලෙස වෙනස් කරන ලදි.

පිට ඉන්නෙන් යාන්තමින් ඉවතට ඇදී ගිය පන්දුවකින් විජේ ශංකර්ගේ ඉනිම අවසන් කළ රෝච් ඕවර 8 කදී ලකුණු 30 කට කඩුලු 3 ක් දවාගෙන සිටියේය.

මේ අතරවාරයේදී සිය 53 වැනි එක්දින අන්තර්ජාතික අර්ධ ශතකය ලබාගැනීමට විරාට් කෝලි පන්දු 55 කට මහුණ දුන්නේය. මෙවර ලෝක කුෂලාන තරගාවලියේදී මේ දක්වා ශතක 19 ක් වාර්තා වී ඇතත් ලොව හොඳම එක්දින පිතිකරුවා වශයෙන් සැලකෙන විරාට් කෝලිට ශතකයක් ලබාගැනීමට හැකිවී නැත.

...................................................................................................................................................................

ඕවර 25  - ඉන්දියාව 118/2

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව මැන්චෙස්ටර්හි ඕල්ඞ් ට්‍රැෆර්ඞ් ක්‍රීඩාංගණයේදී අද (27 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී විරාට් කෝලි අන්තර්ජාතික ලකුණු 20,000 කඩයිම පසුකර ගියේය. 25 වැනි ඕවරය වන විට කෝලි නොදැවී ලකුණු 37 ක් ලබා සිටියේය.

අන්තර්ජාතික ඉනිම අඩුම සංඛ්‍යාවකදී ලකුණු 20,000 කඩයිම පසුකළ පිතිකරුවා බවට පත්වූ විරාට් කෝලිට ඒ වෙනුවෙන් ඉනිම 417 කට මුහුණ දුන්නේය. කෝලිට පෙර අඩුම ඉනිම සංඛ්‍යාවකින් ලකුණු 20,000 කඩයිම පසුකර ගොස් සිටියේ සචින් තෙන්ඩුල්කාර් සහ බ්‍රයන් ලාරා දෙදෙනාය. ඔවුන් දෙදෙනාටම ඒ වෙනුවෙන් ඉනිම 453 ක් අවශ්‍ය වී තිබිණ.

...................................................................................................................................................................

ඕවර 20  - ඉන්දියාව 97/1

ක්‍රමාණුකූලව ලකුණු වේගය වැඩිකරගත් ඉන්දීය පිතිකරුවෝ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව මැන්චෙස්ටර්හි ඕල්ඞ් ට්‍රැෆර්ඞ් ක්‍රීඩාංගණයේදී අද (27 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යාමට අවශ්‍ය පදනම සකස් කරගනිමින් සිටිති.

අවසන් ඕවර 10 දී ලකුණු 50 ක් ලබාගත් ලෝකේෂ් රාහුල් සහ විරාට් කෝලි දෙදෙනා කොදෙව් පන්දු යවන්නන්ගේ ඔද තෙද බිඳ  දමමින් සිටියහ. මේ අතරවාරයේදී සිය 11,111 වැනි එක්දින ලකුණ

...................................................................................................................................................................

ඕවර 10  - ඉන්දියාව 47/1

මතභේදාත්මක තීන්දුවකින් රෝහිත් ෂර්මා දැවී ගිය නමුත් ඕවර 5 කදී ලකුණු 30 ක් ලබාගත් ඉන්දීය පිතිකරුවෝ, බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව මැන්චෙස්ටර්හි ඕල්ඞ් ට්‍රැෆර්ඞ් ක්‍රීඩාංගණයේදී අද (27 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී සිය සුපුරුදු පිතිහරඹ රටාවට අවතීර්ණ වූහ.

5 වැනි ඕවරය නිමාවේදී ඉන්දීය පිල ලබා සිටියේ ලකුණු 17 ක් පමණි. හයවැනි ඕවරය ආරම්භයේදීම අත දිගහැරීම ආරම්භ කළ ආරම්භක පිතිකරුවෝ දෙදෙනා කෙමර් රෝච්ගෙන් ලකුණු 12 ක් උදුරාගත් නමුත් රෝහිත් ෂර්මාට අපසු ක්‍රීඩාගාරයට යෑමට සිදුවිය.

රෝහිත්ගේ පාදයත් පිත්තත් අතරින් රිංගා ගිය පන්දුව උඩපන්දුවක් යයි කඩුල රකින ෂායි හෝප් කළ ඉල්ලීම විනිසරු රිචඞ් ඉලිංවර්ත් මහතා ප්‍රතික්ෂේප කළේය. එහෙත් තුන්වැනි විනිසුරුවරයාගේ සහාය ඉල්ලා සිටි කොදෙව් නායකයා කඩුල්ල තහවුරු කරගත් නමුත් ෂර්මා ආපසු ක්‍රීඩාගාරයට ගියේ හිස දෙපසට වනමිනි. රූපවාහිනී තිරයේ දිස්වූ පරිදි පන්දුව පිත්තත් පා ආවරණයත් අතර පිහිටන අවස්ථාවේදී ‘අල්ට්‍රා එජ්’ තාක්‍ෂණය අනුව දිස්වූයේ පන්දුව පිත්තේ හෝ පා ආවරණයේ ගෑවෙන බවකි.

එහෙත් ප්‍රශ්නය වූයේ සැකයේ වාසිය පිතිකරුවාට නොලැබීමයි.

...................................................................................................................................................................

ඕවර 5  - ඉන්දියාව 17/0

සොල්දාදුවා හෙවත් ෂෙල්ඩන් කොට්රල්ගේ පළමු ඕවරයේදී ඉන්දීය ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලබාගත්තේ ලකුණු 4 ක් පමණි. පළමු ඕවර පහේදී පරෙස්සම් සහගත ආරම්භයක් ලබාගත් රෝහිත් ෂර්මා සහ ලෝකේෂ් රාහුල් 5 වැනි ඕවරය වන විට ලකුණු 17 ක් පුවරුවට එකතු කළහ.

...................................................................................................................................................................

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව මැන්චෙස්ටර්හි ඕල්ඞ් ට්‍රැෆර්ඞ් ක්‍රීඩාංගණයේදී අද (27 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තේය.

කොදෙව් පිල වෙනස්කම් දෙකක් සහිතව මෙම තරගයට පැමිණ සිටී. සුනිල් ඇම්බි්‍රස් සහ ෆේබියන් ඇලන් කොදෙව් පිලට එක්ව සිටිති. එහෙත් ඉන්දීය කණ්ඩායම අවසන් වරට ක්‍රීඩා කළ තරගයේ සිටි ක්‍රීඩකයන් 11 දෙනා තෝරාගෙන තිබේ.

තණතීරුව පිතිකරුවන්ට යෝග්‍ය වන නමුත් දිනයේ අවසන් කොටසේදී පන්දුව දඟ කැවේ යයි අපේක්‍ෂා කරන හෙයින් දෙපිලම දඟ පන්දු යවන්නන් දෙදෙනකු බැගින් තෝරාගෙන ඇත.

ඉන්දීය පිල මෙවර ලෝක කුසලාන තරගාවලියේදී තවමත් අපරාජිත වාර්තාවක් රැකගෙන සිටී. එහෙත් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නම් කොදෙව් පිල අද තරගය ජයගත යුතුවම තිබේ.


අදහස් (0)

ඉන්දියාවට ලකුණු 125ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.