Last Update  :  2024-05-07 23:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අසාම් - සොහෙල් පාකිස්තානයට ජය ගෙනෙති

අසාම් - සොහෙල් පාකිස්තානයට ජය ගෙනෙති

editorial - 2019 ජුනි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බාබර් අසාම් (නොදැවී 101) සහ හැරිස් සොහෙල්ගේ (68) පිතිහරඹය හමුවේ නවසීලන්තයට එරෙහිව බර්මින්හැම්හිදී අද (26 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගාවලියේ 33 වැනි තරගය කඩුලු 6 කින් ජයගැනීමට පාකිස්තානය සමත්විය. ඒ අනුව ප්‍රසාද ලකුණු 7 ක් හිමිකරගෙන සිටින පාකිස්තානය ප්‍රසාද ලකුණු සටහනේ හයවැනි ස්ථානය දක්වා ඉහළ පැමිණියේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 238 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තානය ඕවර 49.1 කදී කඩුලු 4 ක් පමණක් දැවී තරගය ජයගැනීමට සමත්විය.

පන්දු යවන්නෝ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලකුණු 44 ක් තුළ පිටියෙන් ඉවත් කිරීමත් සමගින් මොහොමඞ් හෆීස් සමගින් එක්ව තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 66 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ බාබර් අසාම් ඉන් නොනැවතී හැරිස් සොහෙල් සමගින් එක්ව සිවුවැනි කඩුල්ල සඳහාද ලකුණු 126 ක තවත් සම්බන්ධතාවයක් ගොඩනැගීය.

සිය 10 වැනි එක්දින ශතකය පන්දු 124 කදී සම්පූර්ණ කළ බාබර් අසාම් පාකිස්තානය ජයග්‍රහණය කරා රැගෙන යමින් පන්දු 127 කදී නොදැවී ලකුණු 101 ක් රැස්කිරීමට සමත්විය. ඊට හතරේ පහර 11 ක් ඇතුළත් විය. බාබර් අසාම්ට අනගි සහයක් ලබාදුන් හැරිස් සොහෙල් සිය 12 වැනි එක්දින අර්ධ ශතකය පන්දු 63 කදී සම්පූර්ණ කළ අතර ජයග්‍රහණයට ආසන්නව සිටියදී අවාසනාවන්ත දුවද්දී දැවීයාමකට හසුවනවිට පන්දු 76 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 68 ක් රැස්කිරීමට සමත්විය.

තෙවැනි කඩුල්ලේ සම්බන්ධතාවය බිඳහෙළිම සඳහා පන්දුව අතට ගත් නායක කේන් විලියම්සන් ඔහුගේ පළමු ඕවරයේ 5 වැනි පන්දුවේදී මොහොමඞ් හෆීස් ලකුණු 32 කට දවාගත්තේය. පන්දු 50 කට මුහුණදුන් හෆීස් හතරේ පහර 5 ක් සිය ඉනිමට එක්කරගෙන සිටියේය.

නවසීලන්ත නායකයා පන්දු යවන්නන් 8 දෙනෙකු යොදාගත්තද ඔවුන් ලබාගත් ලකුණු සංඛ්‍යාව ආරක්‍ෂා කරගැනීමට අවස්ථාවක් හිමිනොවූ අතර ටේ‍රන්ට් බෝල්ට්, ලොකී ෆර්ගසන් සහ කේන් විලියම්සන් කඩුල්ල බැගින් දවාගැනීමට සමත්වූහ.

ජේම්ස් නීෂම්ගේ (නොදැවී 97) සහ කොලින් ඩි‘ග්‍රෑන්ඞ්හෝම්ගේ (64) ශතක සම්බන්ධතාවය හේතුවෙන් කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 237 ක් රැස්කිරීමට සමත්විය.

පාකිස්තාන පන්දු යවන්නන් හමුවේ ලකුණු 83 කට කඩුලු 5 ක් අහිමිකරගනිමින් අසීරූ අඩියක සිටි නවසීලන්තය ඉන් මුදාගනිමින් 6 වැනි කඩුල්ල සඳහා පන්දු 130 කදී ලකුණු 132 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට ජේම්ස් නිෂම් සහ කොලින් ඩි‘ග්‍රෑන්ඩෝම් සමත්වූහ. ඔවුන්ගේ එම සම්බන්ධතාවය නවසීලන්තය ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට අපොහොසත් වුවද පන්දු යවන්නන්ට සටනක දියහැකි මට්ටමකට රැගෙන යාමට සමත්වූහ.

මංගල ශතකය හිමිකර ගැනීමට නොහැකිවූවද නිෂාම් නවසීලන්ත ඉනිමේ අවසන් පන්දුවේදී හයේ පහරක් එල්ල කරමින් ලකුණු 97 ක් දක්වා සිය පෞද්ගලික ලකුණු මට්ටම ඉහළ නංවා ගැනීමට සමත්විය. පන්දු 112 කට මුහුණදුන් ඔහුගේ ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 5 කින් අලංකාර විය.

නවසීලන්ත කණ්ඩායමට අවශ්‍යම මොහොතේදී ජේම්ස් නිෂම්ට අනගි සහයක් ලබාදෙමින් අර්ධ ශතකයක් ලබාගැනීමට කොලින් ඩි‘ග්‍රෑන්ඞ්හෝම් සමත්විය. සිය එක්දින දිවියේ තෙවැනි අර්ධ ශතකය පන්දු 63 කදී ලබාගත් කොලින් ඩි‘ග්‍රෑන්ඞ්හෝම් අවාසනාවන්ත දුවද්දී දැවීයාමකට හසුව දැවීයන විට ලකුණු 64 ක් රැස්කිරීමට සමත්විය. පන්දු 71 කදී වාර්තාවූ ග්‍රෑන්ඩෝම්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් විය.

මොහොමඞ් අමීර් සහ ශහීන් අෆ්රිඩි එක්ව මුල්පෙළ පිතිකරුවන් සිවුදෙනෙකු ලකුණු 46 ක් තුළ පිටියෙන් ඉවත් කරමින් නවසිලන්තය වෙත පීඩනය එල්ල කිරීමට සමත්විය. නමුත් එම පීඩනය හමුවේ නායක කේන් විලියම්සන් ඉදිරියට පැමිණියද ලකුණු 41 ක් රැස්කර සිටියදී ශදාබ් ඛාන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ලු රකින්නා වෙත උඩපන්දුවක් දෙමින් දැවී ගියේය.

දක්ෂ පන්දු යැවීමක නිරතවූ ශහීන් අෆ්රිඩි සිය ඕවර 10 ලකුණු 28 කට සීමාකරමින් නිලකුණු ඕවර 3 ක් සමගින් කඩුලු 3 ක් දවාගැනීමට සමත්විය. මොහොමඞ් අමීර් සහ ශදාබ් ඛාන් කඩුල්ල බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

...


අදහස් (0)

අසාම් - සොහෙල් පාකිස්තානයට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.