
සංචාරක පාකිස්තානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල අතර හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැති දෙදින පුහුණු තරගය ජය පැරදුමකින් තොරව අද (12 වැනිදා) නිමා විය. මුල් ඉනිමේදී ලකුණු 146 ක අවාසියකට මුහුණ දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අද සවස ක්‍රීඩාව නතර කිරීමට පෙර සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 88 ක් ලබාගත්තේය.
පාකිස්තානු මුල් ඉනිම ලකුණු 342 දී නිමා වූවත්, නායක බාබර් අසාම් (79) සහ සවුද් ශකීල් (61) දෙදෙනාම නොදැවුණු පිතිකරුවෝ වූහ. මුලු ලකුණු සංඛ්‍යාව කඩුලු 3 කට 286 ක් ව තිබියදී, බාබර් අසාම් සහ සවුද් ශකීල් දෙදෙනාම සිය ඉනිම නවතා පිටියෙන් ඉවත්ව ගියේ පසුපෙළ පිතිකරුවන්ටත් පිතිහරඹ පුහුණුවක් ලබාගැනීමට අවස්ථාව දීමේ අටියෙනි. එවැනි ඉවත්වීම් නිල වශයෙන් සටහන් වන්නේ පන්දු යවන්නකුට අයිතිවාසිකම් කිව නොහැකි දැවීයාම් ලෙසිනි.
දකුණතින් පිට දඟ පන්දු යවන ලක්ෂිත මනසිංහ ලකුණු 82 කට කඩුලු 4 ක් දවාගනිද්දී ටෙස්ට් ක්‍රීඩකයකු වන ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 89 කට කඩුලු 2 ක් දවාගත්තේය.
පළමු දිනයේදී ටෙස්ට් පිතිකරු ඕෂධ ප්‍රනාන්දු අගනා ශතකයක් ලබාගත් නමුත් සෙසු පිතිකරුවන් අසාර්ථකවීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ ඉනිම ලකුණු 196 දී නිමාවට පත්විය. ඊට පිළිතුරු වශයෙන් පාකිස්තානු කණ්ඩායම දිනය අවසන් වන විට කඩුලු 3 ක් දැවී ලකුණු 160 ක් ලබා සිටියේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල - පළමු ඉනිම සියලු දෙනා දැවී 196 යි
පාකිස්තානය - පළමු ඉනිම සියලු දෙනා දැවී 342 යි
(අබ්දුල්ලා ශෆීක් 25, ඉමාම් උල්හක් 36, ශාන් මසූඩ් 83, බාබර් අසාම් 79*, සවුද් ශකීල් 61*, සල්මන් අලි අඝා 12, සර්ෆ්‍රාස් අහමඩ් නොදැවී 17, මොහොමඩ් රිස්වාන් 12, මොහොමඩ් හුරෙයිරා 12, ලක්‍ෂිත මනසිංහ 82/4, ප්‍රවීන් ජයවික්‍රම 89/2)
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල - දෙවැනි ඉනිම කඩුලු 4 ට 88 යි
(නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 31, නිරෝෂන් දික්වැල්ල 12, නිපුන් ධනංජය නොදැවී 26, අඝා ෂල්මාන් 18/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.