Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අලුත්ම විමර්ශනයකට නීතිපති උපදෙස්

අලුත්ම විමර්ශනයකට නීතිපති උපදෙස්

නාමල් පතිරගේ - 2021 මාර් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතීරුව සකස් කිරීම සම්බන්ධයෙන් වසර 2017 දී ‘අල් ජසීරා’ රූපවාහිනිය විකාශය කළ පුවතට අදාළ සිදුවීම ගැන ඉක්මනින්ම විමර්ශනයක් ආරම්භ කරන ලෙස ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් විමර්ෂණ ඒකකයට නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු ක්‍රීඩක සචිත්‍ර සේනානායකට එරෙහිව එල්ල වී ඇති තරග පාවාදීමේ චෝදනා සම්බන්ධයෙන් දැනට විමර්ශනයක් පවත්වාගෙන යන්නේද එම පොලිස් ඒකකය විසිනි.

වසර 2017දී ‘අල් ජසීරා’ රූපවාහිනිය විකාශය කළ පුවතට අනුව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතීරුව ශ්‍රී ලංකාවට වාසිදායක ආකාරයෙන් සකස් කරන බවට චෝදනාවක් එල්ල විය. එම පුවත සඳහා පදනම් කර ගත්තේ ගාල්ල ක්‍රීඩාංගණයේ තණතීරු සකස් කරන්නකුගේ ප්‍රකාශයකි.

අප් ජසීරා රූපවාහිනිය විදේශ තැරැව්කරුවකු යොදවා කළ රහසිගත පටිගත කිරීමක් ලෙස එය ප්‍රකාශයට පත් විය.

මෙම පුවත විකාශනයේදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පුහුණුකරුවන් කීපදෙනකු කරන කතාබස් ද රහසිගතව පටිගත කර තිබූ බව සඳහන් වේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩ තහනමට ලක්වුවත් පසුව ඔවුන් නිදොස් කරමින් නැවත සේවයේ පිහිටුවනු ලැබීය.

පොලිස් ක්‍රීඩා වැරදි සෙවීමේ ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා මහතාගේ අධීක්ෂණයෙන් ‘අල් ජසීරා’ රූපවාහිනියේ 2017 පුවත සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. විමර්ශන ඒකකයේ නියෝජ්‍ය ප්‍රධානී පොලිස් අධිකාරී ඩී.ජී. සමරනායක මහතා අල් ජසීරා සිදුවීම සම්බන්ධයෙන් ආරම්භ කෙරෙන විමර්ශනය භාරව කටයුතු කිරීම සඳහා පත්කර ඇත.

මෙම ප්‍රවෘත්තිය විකාශය කිරීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සඳහා ඊට අදාල තොරතුරු හා පටිගත කිරීම් ලබාදෙන ලෙස අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්දන ඒකකය අල් ජසීරා නාලිකාවෙන් ඉල්ලීමක් කළේය. එහෙත් එය ඉටු නොවීමෙන් පසුව අන්තර්ජාතික ක්‍රිකට් සභාව විමර්ශන කටයුතු අත්හැර දැමූ බවද වැඩිදුරටත් වාර්තා වේ.

මුහුදු වෙරළ අද්දර, පැරණි බලකොටුවත් පෙනෙන මානයේ ඉදිකර ඇති ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සුන්දරත්වය නිසාම ලෝක ප්‍රසිද්ධියට පත්ව තිබෙන ක්‍රීඩාංගනයකි.

1997 දී පළමු ටෙස්ට් තරගය පැවැත්වූ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වසර 2004 දී සුනාමි ව්‍යසනය හේතුවෙන් විනාශයට පත්විය. පසුව එය ‘යුනෙස්කෝ’ ආයතනයේ සම්බන්ධීකරණයෙන් නැවත ප්‍රතිසංස්කරණය කෙරුණි. මේ දක්වා එහි පැවැති ටෙස්ට් තරග 34 කින් 19 ක ජය ශ්‍රී ලංකාවට හිමිව තිබේ.

‘අල් ජසීරා’ පුවතට පාදක වූයේද ශ්‍රී ලංකාව සත්කාරය දරන ටෙස්ට් තරගාවලියක් සඳහා ගාල්ල ක්‍රීඩාංගණයේ තණතීරුව සකස් කිරීමේ සිදුවීමකි. මෙම ක්‍රීඩාංගණයේ තණතීරුව බාරව සිටි හිටපු නමගිය ප්‍රධාන නිලධාරියෙක් දූෂණ චෝදනා විමර්ශන මගහැරීම සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් චෝදනා ලබා මේ වනවිට තහනමට ලක්ව සිටියි.
 

 


අදහස් (0)

අලුත්ම විමර්ශනයකට නීතිපති උපදෙස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.