Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අයර්ලන්තය මුල් දිනයේ වාසිය ගනී
දෙවැනි ටෙස්ට් තරගය

අයර්ලන්තය මුල් දිනයේ වාසිය ගනී

editorial - 2023 අප්‍රේ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)

කාසියේ වාසිය දිනා ගැනීමෙන් පසුව සර්ව සුබවාදී පිතිහරඹයකට පිවිසි අයර්ලන්ත පිතිකරුවෝ ගාල්ලේදී අද (24 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට කඩුලු 4 ක් දැවී ලකුණු 319 ක් ලබාගනිමින් ප්‍රබල ස්ථානයකට පැමිණ සිටියහ. නායක ඇන්ඩි බැල්බර්නි (95), පෝල් ස්ටර්ලිං (නොදැවී 74) සහ ලෝකන් ටකර් (නොදැවී 78) ලබාගත් අර්ධ ශතක හේතුවෙන් අයර්ලන්ත පිතිකරුවෝ තරගයේ මුල් දිනයේ වාසිය අත්පත් කරගෙන සිටිති.

තුන්වැනි කඩුල්ල ලකුණු 89 දී බිඳ වැටුණ නමුත් අයර්ලන්තය සතුව සිටින ප්‍රබලතම පිතිකරුවා වන පෝල් ස්ටර්ලිං පිටියට පිවිසීමත් සමගින් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ පසුපාදයට වැටුණහ.

ප්‍රභාත් ජයසූරිය හමුවේ ගැසූ හයේ පහරකින් සිය ලකුණු ලබාගැනීම ආරම්භ කළ ස්ටර්ලිං, පන්දු 64 කදී සිය අර්ධ ශතකය සම්පූර්ණ කළේ නායකයා සමගින් එක්ව ශතක සම්බන්ධතාවකටත් පදනම දමා ගනිමිනි.

දිවා ආහාරය වන විට කඩුලු 3 ක් දැවී ලකුණු 106 ක් ලබා සිටි අයර්ලන්ත ඉනිමේ කොඳුනාරටිය බවට වූ බැල්බර්නි සහ ස්ටර්ලිං දෙදෙනා එක්ව දිවා ආහාරයෙන් පසුව තරගයේ වාසිය ටිකෙන් ටික ඇදගන්නට වූහ. සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 115 ක් එක්කර තිබියදී ස්ටර්ලිං පාදයේ මස්පිඬු පෙරළීමේ ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්ව ගියේය. එක්දින තරග 145 කට සහභාගි වී තිබුණද, තවමත් ටෙස්ට් තරග 4 කට පමණක් සහභාගි වී, මංගල ටෙස්ට් අර්ධ ශතකය ලබාගත් ස්ටර්ලිංගේ අපරාජිත ඉනිම හතරේ පහර 6 කින් සහ හයේ පහර 3 කින් සමන්විත විය.

එයින් ලකුණු 28 කට පසුව, රමේෂ් මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේ පැඩ්ල් ස්වීප් පහරක් ගැසීමට ගිය නායක බැල්බර්නි සිය මංගල ටෙස්ට් ශතකයට අත පොවන දුරින් සිටියදී දැවී ගියේ ධනංජය ද සිල්වාට උඩපන්දුවක් පිරිනමමිනි. තම 6 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන අයර්ලන්ත නායකයාගේ හොඳම ටෙස්ට් ඉනිම හතරේ පහර 14 කින් සමන්විත වූයේය.

බැල්බර්නි සහ ස්ටර්ලිං දෙදෙනාම පිටියෙන් ඉවතට ගියද ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ අපලය එතැනින් නතර නොවිණ. පස්වැනි කඩුල්ල වෙනුවෙන් එක්වූ ලෝකන් ටකර් (කඩුලු රකින්නා) සහ කර්ටිස් කැම්පර් එක්ව තවත් ලකුණු 87 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනඟමින් ක්‍රීඩාව අවසන් කළේ පළමු දිනයේ සියලු ගෞරව තම කණ්ඩායමට හිමිකර දෙමිනි.

අද පෙරවරුවේ සිටම ශ්‍රී ලංකාවේ පන්දු යැවීම සාර්ථක නොවීය. ප්‍රභාත් ජයසූරිය සහ රමේෂ් මෙන්ඩිස් එක්ව ඕවර 51 ක් යැවූ නමුත් ඔවුන් දෙදෙනාගෙන් ලකුණු 179 ක් උදුරාගැනීමට අයර්ලන්ත පිතිකරුවෝ සමත් වූහ.

තරගය ආරම්භ වූයේ විශ්ව ප්‍රනාන්දුගේ ප්‍රබල ඉල්ලීමකිනි. තරගයේ පළමු පන්දුවම ජේම්ස් මැකලම්ගේ පා ආවරණයේ වැදුණ නමුත් විනිසුරු කුමාර් ධර්මසේන මහතා එය දැවී යාමක් නොවන බව කීවෙන් විශ්ව ආපසු පන්දු යැවීමේ සීමාවට ගියේය. අසිත ප්‍රනාන්දුගේ ඉල්ලීමත් විනිසුරු පෝල් රයිෆල් මහතා එලෙසින්ම ප්‍රතික්ෂේප කළ නමුත් සිය දිවයාම නතර කිරීමටත් පෙරම විතීවි සහාය ඉල්ලා සිටි පන්දු යවන්නා තමන්ට හිමි කඩුල්ල දවාගත්තේය.

කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත නායක ඇන්ඩි බැල්බර්නි කිසිම පැකිළීමකින් තොරව පළමුවෙන් පිතිහරඹය තෝරා ගත්තේ ගාල්ල ක්‍රීඩාංගණයේ තණතීරුව සම්බන්ධයෙන් පවතින ලෝ ප්‍රකට තත්ත්වය මැනවින් වටහා ගනිමිනි. දිනය අවසානයේ ඔහු සාර්ථක ප්‍රතිඵල අත්කර ගත්තේය.

මෙම තරගයේදී ශ්‍රී ලංකාව නොවෙනස් කණ්ඩායමක් සමගින් පිටියට පිවිසි නමුත් අයර්ලන්තය දඟ පන්දු යවන්නන් තිදෙනකු සමගින් පිටියට පිවිස සිටී.

කෝඩුකාරයා වන විසි හැවිරිදි මැතිව් හම්ප්‍රේස් දකුණත් පිතිකරුවකු වන අතර වමතින් දඟ පන්දු යවන්නෙකි. අර්ලන්ත 19 න් පහළ කණ්ඩායමත් නියෝජනය කළ මැතිව් ටෙස්ට් පිටියට පිවිසෙන්නේ එකම පළමු පෙළ තරගයක් හෝ ක්‍රීඩා කිරීමට පෙරය. අද තරගය හම්ප්‍රේස්ගේ මංගල පළමු පෙළ තරගයද වෙයි.

පා දඟ පන්දු යවන බෙන් වයිට් සහ ඔවුන්ගේ වඩාත්ම පළපුරුදු පිට දඟ පන්දු යවන්නා වන ඇන්ඩි මැක්බ්‍රයින් ද අද තරගයේදී අයර්ලන්තය වෙනුවෙන් ක්‍රීඩා කරති.

පළපුරුදු පිතිකරු පෝල් ස්ටර්ලිං නැවතත් කණ්ඩායමට එක්ව සිටි. බංග්ලාදේශයේදී දිගින් දිගටම තරග කළ ස්ටර්ලිං පළමු ටෙස්ට් තරගය සඳහා විවේක ගන්වන ලදි.


අදහස් (0)

අයර්ලන්තය මුල් දිනයේ වාසිය ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.