Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අයර්ලන්තය ඓතිහාසික ඉනිමක
දෙවැනි ටෙස්ට් තරගය

අයර්ලන්තය ඓතිහාසික ඉනිමක

editorial - 2023 අප්‍රේ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)

මස්පිඬු පෙරළීමෙන් සුවය ලැබූ පෝල් ස්ටර්ලිංගේත් (103) තුන් ඉරියව් ක්‍රීඩක කර්ටිස් කැම්පර්ගේත් (111) විශිෂ්ට පිතිහරඹ නිසා දෙවැනි ටෙස්ට් තරගයේ පූර්ණ පාලනය සියතට ගත් අයර්ලන්තය, සිය ටෙස්ට් ඉතිහාසයේ පළමු වතාවට ටෙස්ට් ඉනිමකදී ලකුණු 400 කඩයිම පසුකර ගියේය. ගාල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන අද (25 වැනිදා) තේ පානය සඳහා ක්‍රීඩාව නතර කිරීමට පෙර අයර්ලන්තය සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 492 ක් ලබා ගත්තේ තරගයේ පීඩනය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම වෙත පටවමිනි. 

කෙසේ වෙතත් ඊට සාර්ථකව මුහුණ දුන් ශ්‍රී ලංකා කණ්ඩායම, අද පස්වරුවේ වර්ෂාව කඩාවැදීමට පොරතුව, ඕවර 18.1 කදී කිසිවකු නොදැවී ලකුණු 81 ක් ලබාගත්තේය. නිශාන් මධුෂ්ක නොදැවී ලකුණු 41 ක් ලබාගත් අතර නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 39 ක් ලබා සිටියේය. තරමක වේගයෙන් ලකුණු ලබාගත් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවෝ දෙදෙනා එක්ව හතරේ පහර 12 කින් අයර්ලන්ත පන්දු යවන්නන්ට සංග්‍රහ කළහ. 

පැය 10 කුත් විනාඩි 40 ක කාලයක් පුරා, ඕවර 145 කට මුහුණ දුන් අයර්ලන්ත පිතිකරුවෝ පළමු ටෙස්ට් තරගයේ ඉනිම දෙකටම (විනාඩි 227 සහ විනාඩි 226) ගත කළාට වැඩි කාලයක් දෙවැනි තරගයේ පළමු ඉනිම වෙනුවෙන් වැය කළහ. විශේෂඥ දඟ පන්දු යවන්නන් තිදෙනකු සමගින් මෙම තරගයට පිවිස සිටින අයර්ලන්තය නැවතත් පිටියට කැඳවීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමේදී ලකුණු 292 ක් ලබාගත යුතුව තිබේ. 

කඩුලු 4 කට ලකුණු 319 ක් ලබා පළමු දිනය හමාර කළ අයර්ලන්ත පිතිකරුවෝ අද පෙරවරුවේදී තවත් ලකුණු 80 ක් සිය ඉනිමට එකතු කළ නමුත් අහිමි කරගත්තේ කඩුලු 2 ක් පමණි. දිවා ආහාරයෙන් පසුව තවත් ලකුණු 93 ක් එකතු කරගත් අයර්ලන්තය ලකුණු 492 කට දැවී ගියේය. 

වසර 2018 දී සිය මංගල ටෙස්ට් තරගයේදීම පාකිස්තානයට එරෙහිව ලබාගත් ලකුණු 339, එදා මෙදා තුර අයර්ලන්තයේ හොඳම ටෙස්ට් ඉනිම විය. එහෙත් අද දිනයේ එය පහසුවෙන්ම පසුකර ගිය අයර්ලන්ත පිතිකරුවෝ සිය වසර 5 ක ටෙස්ට් ඉතිහාසයේ පළමු වතාවට ටෙස්ට් ඉනිමක සංඛේතාත්මක කඩයිමක් වශයෙන් සැලකෙන ලකුණු 400 පසුකර ගියහ. 

නායක ඇන්ඩි බැල්බරින් පිටියට පිවිසි මොහොතේ සිටම ශ්‍රී ලංකා පන්දු යවන්නෝ වධයට ලක්වූහ. දෙවැනි කඩුල්ල වෙනුවෙන් විනාඩි 30 කදී ලකුණු 31 ක් එක්කළ අයර්ලන්ත නායකයා, එතැන් සිට පිළිවෙලින් ලකුණු 46 ක සහ 143 ක තවත් සම්බන්ධතා දෙකක් ගොඩනැංවීය. 
තරගයේ තාලය වෙනස් වූයේ ඇන්ඩි බැල්බර්නි සහ පෝල් ස්ටර්ලිං අතර පැවැති සම්බන්ධතාව ආරමභ වීමෙන් පසුවය. 
 
ස්ටර්ලිං ලකුණු 74 දී මස්පිඬු පෙරළීමක් හේතුවෙන් පිටියෙන් ඉවත් වන විටත් ලකුණු 115 ක් වූ බැල්බර්නි - ස්ටර්ලිං සම්බන්ධතාව නිසා ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ ආත්ම විශ්වාසය බිංදුවටම ඇද වැටිණ. පැය දෙක හමාරක් තුළ පැවැති මෙම සම්බන්ධතාවේදී ශ්‍රී ලංකා පන්දු යවන්නෝ දරුණු පහරකෑමකට ලක්වූහ.  එයින් පසුව පිටියට පැමිණි ලෝකන් ටකර් (80) සහ කර්ටිස් කැම්පර් එක්ව පස්වැනි කඩුල්ලට තවත් ලකුණු 89 ක් ද, අද පෙරවරුවේදී මස්පිඬු පෙරළීමෙන් සුවය ලබා පැමිණි පෝල් ස්ටර්ලිං සහ කැම්පර් එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 64 ක් ද එකතු කළහ. 

පෝල් ස්ටර්ලිං සිය මංගල ටෙස්ට් ශතකය ලබාගත්තේ චිත්තාකර්ශනීය ආකාරයෙනි. 

පා ඉන්න පැත්තේ පන්දු රකින්නන් පස් දෙනකු රඳවා, අසිත ප්‍රනාන්දු කෙටි පන්දු එවද්දී, අඩියක් පසුපසට ගත් ස්ටර්ලිං බැක්වර්ඩ් පොයින්ට් කලාපයට ඉහළින් පන්දුව නරඹන්නන් අතරට යවමින් සිය ටෙස්ට් ශතකය සම්පූර්ණ කළේය. එහෙත් එයින් විනාඩි 10 ක් ඇතුළත මුරණ්ඩු පහරක් ගැසීමට උත්සුක වූ  ස්ටර්ලිං, ඩිප් ෆයින් ලෙග් හි සිටි ධනංජය ද සිල්වාට උඩපන්දුවක් දී සිය කඩුල්ල අසිත ප්‍රනාන්දුට තිළිණ කළේය. 

පැය 4 ක කාලයක් පුරා පන්දු 174 කට මුහුණ දුන් ස්ටර්ලිංගේ සම්පූර්ණ ඉනිම හතරේ පහර 9 කින් සහ හයේ පහර 4 කින් සමන්විත විය. 

පන්දු 111 කින් සිය අර්ධ ශතකයට අවතීර්ණ වූ කැම්පර්, පසුපෙළ පිතිකරුවන් මනාව හසුරුවා ගනිමින්, විවිධ සම්බන්ධතා ඔස්සේ ලකුණු 244 ක් අයර්ලන්ත පිලට එකතු කළේය. ලකුණු 232 දී සිව්වැනි කඩුල්ල දැවී යාමත් සමගින් පිටියට පිවිසෙන කැම්පර්, පැය 5 කට පසුව, ධනංජය ද සිල්වාගේ අති විශිෂ්ට උඩපන්දුවක් හමුවේ දැවී යනවිට අයර්ලන්ත ලකුණු සංඛ්‍යාව 476 ක් වී තිබිණ. 

අවසන් පිතිකරුවා දවාගත් ප්‍රභාත් ජයසූරිය, ටෙස්ට් තරග 7 කදී හයවැනි වතාවටත් ඉනිමකදී කඩුලු 5 ක් දවාගත්තේය. එහෙත් ප්‍රභාත් යැවූ ඕවර 58.3 න් අයර්ලන්ත පිතිකරුවෝ ලකුණු 174 ක් උදුරා ගත්හ. 

අද හවස 4.30 ට පමණ ඇදැහැළුණු ධාරාණිපාත වර්ෂාව නිසා තරගය නතර කළ බැවින් හෙට උදෑසන 9.45 ට තරගය ආරම්භ කිරීමට නියමිතය. 


අදහස් (0)

අයර්ලන්තය ඓතිහාසික ඉනිමක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.