Last Update  :  2025-08-15 10:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket 2014 කාලේ දස්කම් නැවත කිරීම අමාරුයි

2014 කාලේ දස්කම් නැවත කිරීම අමාරුයි

රොෂාන් ගුණරත්න - 2020 ජන මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එම්.සී.සී. කණ්ඩායමත් එංගලන්ත අන්තර් ප්‍රාන්ත තරගාවලියේ ජයග්‍රාහකයන් වූ එසෙක්ස් කණ්ඩායමත් අතර සිව්දින තරගයක් එළඹෙන මාර්තු මාසයේ ගාල්ලේදී පැවැත්වේ. එම තරගයේදී එම්.සී.සී. පිල එහි වත්මන් සභාපති කුමාර් සංගක්කාර මහතා විසින් මෙහෙයවනු ඇත.

අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසුව නැවතත් ලංකාවේදී ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කිරීමට ලැබීම භාග්‍යයක් නමුත් සමුගැනීමට පෙර පැවැති දස්කම් මෙම තරගයේදී බලාපොරොත්තු නොවන ලෙසත්  සංගක්කාර මහතා ප්‍රේක්‍ෂයකයන්ගෙන් ඉල්ලා සිටියේය.

“2015 ට ඉස්සෙල්ලා දස්කම් බලාපොරොත්තු වෙන්න එපා කියලා ඉස්සෙල්ලාම කියන්නම්”
“මම අවුරුදු දෙක හමාරකින් විතර පිත්තක් ඇල්ලුවේ නෑ... ඒත් මේ තරගය හින්දාම පසුගිය දවසක ගෘහස්ථ ක්‍රීඩාගාරකට ගිහිල්ලා විනාඩි 20 ක් විතර පුහුණු වුණා..ඒ වෙලාවේ මගේ අත හමගියා... කොහොම වෙතත් මේ තරගයට ඉස්සරවෙලා ව්‍යායාම ශාලාවකට ගිහිල්ලා ශාරීරික යෝග්‍යතාව ටිකක් හදාගන්න ඕනා” යයිද සංගක්කාර මහතා පැවසීය.

එංගලන්ත ප්‍රාන්ත තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වෙන මෙම සාම්ප්‍රදායික තරගය මාර්තු 24 වැනිදා සිට 27 වැනිදා දක්වා ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

එම්.සී.සී. පිල සහ අන්තර් ප්‍රාන්ත තරගාවලියේ කලින් වසරේ ශූරයන් අතර පැවැත්වෙන මෙම සාම්ප්‍රදායික තරගය 2011 වසරේ සිටම විදේශයකදී පැවැත්වෙයි. පසුගිය වසරේදී මෙම තරගය ඩුබායිහිදී පැවැති නමුත් ඊට වර්ෂාවෙන් බාධා පැමිණියේය.

මෙම සාම්ප්‍රදායික තරගය සඳහා ශ්‍රී ලංකාව තෝරාගනු ලැබ ඇත්තේ හේතු කිහිපයක් ඇතිවය. මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ ලෝක ක්‍රිකට් කමිටුව මාර්තු මාසයේදී ගාල්ලේදී පැවැත්වෙයි. මෙම තරගයට දින යොදාගෙන ඇත්තේ ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියට අයත් එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි ටෙස්ට් තරගයද ඒ දිනවලදීම කොළඹදී පැවැත්වෙන බැවිනි.

මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය ශ්‍රී ලංකාවේ තරගය සංචාරයක නිරත වීමට පෙර පාකිස්තානයේ ලාහෝර් නුවරදී තරග කිහිපයකටද සහභාගි වීමට නියමිතය. පාකිස්තානයේ සංචාරය සඳහා මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය නියෝජනය කරමින් යන කණ්ඩායමේ නායකත්වයද එම්.සී.සී. සභාපති කුමාර් සංගක්කාර මහතා විසින්ම දරනු ලැබේ.

“මෙම සාම්ප්‍රදායික තරගය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමේදී ශ්‍රී ලංකාවේ සංචාරක ක්‍ෂේත්‍රයට, හෝටල් ක්‍ෂේත්‍රයට සහ නොයෙකුත් ක්‍ෂේත්‍රයන් වලට ආර්ථික ප්‍රතිලාභ ලැබෙනවා. එමෙන්ම එම්.සී.සී. එක පැත්තෙන් ගත්තම ක්‍රිකට් අතින් ඔවුන්ගේ ජාත්‍යන්තර ප්‍රතිරූපය ශක්තිමක් කරගැනීමට ලොකු රුකුලක්” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද (30) පැවැති මාධ්‍ය හමුවේදී සංගක්කාර මහතා පැවසීය.

 


අදහස් (0)

2014 කාලේ දස්කම් නැවත කිරීම අමාරුයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.