Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket 1000 වැනි තරගයේදී හයේ පහර සංදර්ශනයක්
අයි.පී.එල් - 2023

1000 වැනි තරගයේදී හයේ පහර සංදර්ශනයක්

editorial - 2023 මැයි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රාජස්තානයේ යශස්වී ජයිස්වාල් ශතකයක් ලබාගත් නමුත්, උසස්ම වෘත්තීය මට්ටමේ වි-20 තරගයකදී ලකුණු 200 ක් හඹා යාම සාමාන්‍ය තත්ත්වයක් යයි නැවත වරක් සනාථ කරමින්, ඊයේ පැවැති අයි.පී,එල්. තරගයේදී මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩකයෝ කඩුලු 4 කින් රාජස්තානය පරාජය කළහ. මෙය අයි.පී.එල්. ඉතිහාසයේ 1000 වැනි තරගය ද වූයේය. 

මුම්බායිහි වැන්කඩේ ක්‍රීඩාංගණයේදී ඊයේ (30 වැනිදා) පැවැති මෙම තරගයේදී යශස්වී ජයිස්වාල් (124) ලබාගත් ශතකය නිසා පහසුවෙන්ම ලකුණු 200 කඩයිම පැනගිය රාජස්තාන් ක්‍රීඩකයෝ කඩුලු 7 කට ලකුණු 212 ක් ලබාගත්හ. 19 වැනි ඕවරය අවසානයේදී ලකුණු 196 ක් ලබා සිටි මුම්බායි කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් අවසන් ඕවරයේදී ලකුණු 17 ක් අවශ්‍ය වී තිබිණ. ජේසන් හෝල්ඩර් යැවූ අවසන් ඕවරයේ පළමු පන්දු තුනම නරඹන්නන් අතරට යැවූ ටිම් ඩේවිඩ්, පන්දු 3 ක් ඉතිරිව තිබියදීම මුම්බායි කණ්ඩායම ජයටැඹ කරා කැඳවාගෙන ගියේය. 

පන්දු 14 කින් නොදැවී ලකුණු 45 ක් ලබාගත් ටිම් ඩේවිඩ්ගේ ඉනිම හයේ පහර 5 කින් සහ හතරේ පහර 2 කින් සමන්විත විය. තරගය නිමාවන විට මධ්‍යම රාත්‍රිය ආසන්න වී තිබිණ. 

ඕස්ටේ්‍රලියානු පිතිකරුවකු වන ටිම් ඩේවිඩ් සංසන්දනය කෙරෙන්නේ මුම්බායි පිලේ වත්මන් පිතිහරඹ පුහුණුකරුවා වන කිරන් පොලාර්ඩ් සමගිනි. 

“පොලීට (කිරන් පොලාර්ඩ්) වගේම ටිම්ටත් හැකියාවත්, බාහු බලයත් දෙකම තියෙනවා. ඒ බාහු බලය නිසා පන්දු යවන්නාටත් තරමක අවිනිශ්චිත තත්ත්වයක ඉන්නට වෙනවා” යයි මුමබායි නායක රෝහිත් ෂර්මා තරගයෙන් පසුව පැවසීය. 

අයි.පී.එල්. තරගයකදී ලකුණු 200 ක් හඹායාම දැන් සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වී තිබේ. ඊයේ (30 වැනිදා) පැවැති තවත් තරගයකදී චෙන්නායි පිලේ ලකුණු 200 සාර්ථකව හඹාගිය පන්ජාබ් පිතිකරුවෝ අවසන් පන්දුවේදී කඩුලු 4 ක ජයක් ලබාගත්හ. කෙසේ වෙතත් රාජස්තාන් - මුමබායි තරගය අයි.පී.එල්. ඉතිහාසයේ 1000 වැනි තරගය වෙනුවෙන් කදිම ප්‍රදර්ශනයක් විය. මෙම තරගයේදී දෙපිලේ පිතිකරුවන් විසින් ගසන ලද හයේ පහර සංඛ්‍යාව 22 කි. 

තවමත් 21 හැවිරිදි යශස්වී ජයිස්වාල් පන්දු 62 කින් ලකුණු 124 ක් ලබාගත්තේ සිය මංගල අයි.පී.එල්. ශතකය සම්පූර්ණ කරමිනි. එයට හයේ පහර 8 ක් ඇතුළත් විය. තමන්ගේ ක්‍රිකට් සිහිනය සැබෑ කරගැනීම සඳහා, කුඩා කාලයේදී  ඉන්දියාවේ වීදි දිගේ කෑම විකිණූ ජයිස්වාල්, 2020 අයි.පී.එල්. වෙන්දේසියේදී ඉන්දීය රුපියල් මිලියන 24 කට රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම විසින් මිලදී ගන්නා ලදි. 2021 දීත් එම වැටුපම හිමිකරගත් වමත් පිතිකරුවාට අවසන් වසර දෙක (2022-23) සඳහා ඉන්දීය රුපියල් මිලියන 16 ක වැටුප් වර්ධකයක් හිමිවිය. ඔහුගේ වත්මන් වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 4 කි. 

සිය ශතකය සම්පූර්ණ කිරීම සඳහා ජයිස්වාල් මුහුණ දුන්නේ පන්දු 53 කට පමණි. කෙසේ වෙතත් ජයිස්වාල්ගේ ශතකය සම්පූර්ණයෙන්ම නිශ්ක්‍රිය කළ කැමරන් ග්‍රීන් (44), සූර්යකුමාර යාදව් (55) සහ ටිම් ඩේවඩ් (45) මුම්බායි කණ්ඩායමට ජය අත්කර දුන්හ. ටිම් ඩේවිඩ් සහ තිලක් වර්මා (29) අතර සම්බන්ධතාව පන්දු 23 කින් ලකුණු 62 කි. 

රජස්තාන් රෝයල්ස් - ඕවර 20 කදී කඩුලු 7 ට 212 යි
(යශස්වී ජයිස්වාල් 124, ජොස් බට්ලර් 18, සංජු සැම්සන් 14, ජේසන් හෝල්ඩර් 11, පියුශ් චව්ලා 34/2, අර්ශඩ් ඛාන් 39/3)

මුම්බායි ඉන්දියන්ස් - ඕවර 19.3 කදී කඩුලු 4 ට 214 යි
(ඉෂාන් කිෂාන් 28, කැමරන් ග්‍රීන් 44, සූර්යකුමාර් යාදව් 55, තිලක් වර්මා නොදැවී 29, ටිම් ඩේවිඩ් නොදැවී 45, රවිචන්ද්‍රන් අශ්වින් 27/2)

- 213


අදහස් (0)

1000 වැනි තරගයේදී හයේ පහර සංදර්ශනයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.