එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලියේදී සිය කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුලතම වේගපන්දු යවන්නා වන ජොෂ් හෙසල්වුඞ්ගේ සේවය අහිමි වීම ඕස්ට්‍රේලියානු කණ්ඩායමට විශාල පාඩුවක් වනු ඇත.
පිට කොන්දේ ආබාධයකට ලක්ව සිටීම නිසා හෙසල්වුඞ්ට එංගලන්ත තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව අහිමිවී ඇති අතර එම තරගාවලියේදී ඔහුගේ හිඩැස පිරවීම සඳහා කූවීන්ස්ලෑන්ඞ් ප්‍රාන්තයේ මයිකල් නේසර් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට කැඳවා සිටියි.
“කාලයක් තිස්සෙ ඉදන් ජොෂ් තුනටියේ අස්ථියක සියුම් පිපිරීමක් නිසා පීඩා වින්ඳා.” යයි ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ භෞතචිකිත්සකවරයා ලෙස කටයුතු කරන ඬේවිඞ් බේක්ලි මහතා පවසයි.
“අද ඔහු නැවත වරක් ස්කෑන් පරීක්ෂණයකට පෙනී සිටියා. නමුත් ඒ පරීක්ෂණයෙන් ඔහුගේ අස්ථි පිපුරුම පිළිබඳව හරියටම බලාගන්න පුළුවන් වුණේ නෑ. තවමත් ඔහු තරමක වේදනාවකින් පෙළෙනවා”
“මේ හේතු කාරණා සැළකිල්ලට ගැනීමෙන් පසුව ඔහුව එංගලන්ත සංචාරයට රැගෙන නොයන්න අපි තීරණය කළා.” යැයිද බේක්ලි මහතා සඳහන් කළේය.
තවමත් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් එක්දින වරම් ලබා නොමැති මයිකල් නේසර්, කූවීන්ස්ලෑන්ඞ් ප්‍රාන්තය නියෝජනය කරමින් කඩුලු 41 ක් දවාගෙන පසුගිය පළමු පෙළ තරගවාරයේ වැඩිම කඩුලු ලාභියා බවටද පත් විය.
හෙසල්වුඞ්ගේ අහිමිවීමත් සමග ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලෝක එක්දින ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන එංගලන්ත කණ්ඩායමට එරෙහිව තරග වැදීමට සිදුවන්නේ අළු බඳුන තරගාවලියේදී තම කණ්ඩායම නියෝජනය කළ වේග පන්දු යවන්නන් තිදෙනාම නොමැතිවය. මිචෙල් ස්ටාක් සහ පැට් කමින්ස්ද විවිධ ආබාධවලට ලක්වී මේ දිනවල කණ්ඩායමෙන් ඉවත්ව සිටිම ඊට හේතුවයි.
පන්දුව පළුඳු කිරීමේ සිදුවීමට සම්බන්ධ වීම නිසා තරග තහනමකට ලක්ව සිටින හිටපු නායක ස්ටීවන් ස්මිත්ගේ සහ උප නායක ඬේවිඞ් වෝනර්ගේ සහායද මෙම තරගාවලියේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට අහිමිවන අතර අබාධයකට ලක්ව සිටින තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ්ද එංගලන්ත තරගාවලියට එක් නොවනු ඇත.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.