Last Update  :  2025-08-15 13:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සුපිරි ඕවරයේ ජය ඉන්දියාවට

සුපිරි ඕවරයේ ජය ඉන්දියාවට

editorial - 2020 ජන මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර හැමිල්ටන්හිදී අද පැවැති (29 වැනිදා) තෙවැනි විස්සයි20 තරගය ලකුණු සමවීමෙන් අවසන් විය. නමුත් පසුව පැවැති සුපිරි ඕවරය ජයගත් ඉන්දියාව තරග 5 කින් සමන්විත විස්සයි20 තරගාවලිය තවත් තරග 2 ක් තිබියදීම 3-0 ක් ලෙස ජයගැනීමට සමත්විය.

සුපිරි ඕවරයේ ජයග්‍රහණය සඳහා ලකුණු 18 ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ඉන්දීයාවට අවසන් පන්දුවේදී ජයග්‍රහණය කරා යෑමට අවස්ථාව හිමි වූයේය. පන්දුවට පහරදීමට රෝහිත් ෂර්මා සහ ලෝකේෂ් රාහුල් පිටියට පිවිසි අතර පන්දු යැවීමට ටිම් සෝතී පැමිණියේය.

පළමු පන්දුවේදී ලකුණු 2 ක් ලබාගත් ෂර්මා දෙවැනි පන්දුවේදී එක් ලකුණක් සඳහා පැති මාරු කර ගත්තේය. තෙවැනි පන්දුවට හතරේ පහරක් එල්ල කළ ලෝකේෂ් තෙවැනි පන්දුවේදී නැවතත් ලකුණක් සඳහා පැති මාරු කරගත්තේය. අවසන් පන්දු දෙකේදී ජයග්‍රහණය සඳහා ඉන්දියාවට ලකුණු 10 ක් අවශ්‍ය වූ අතර පස්වැනි පන්දුවේදී වයිඞ් ලෝන්ග් කළාපයට ඉහළින් හයේ පහරක් එල්ල කළ රෝහිත් ෂර්මා අවසන් පන්දුවේදී ලෝන්ග් ඕෆ් කළාපයට ඉහළින් නැවතත් හයේ පහරක් එල්ල කරමින් ඉන්දියාව ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

අවසන් වරට පන්දුවට පහරදෙමින් සිටි කණ්ඩායමට සුපිරි ඕවරයේදී පළමු පන්දුවට පහරදීමට අවස්ථාව හිමිවන අතර ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය ඕවරය අවසානයේ ලකුණු 17 ක් ලබාගැනීමට සමත්විය.

කේන් විලියම්සන් සහ මාර්ටින් ගප්ටිල් පන්දුවට පහරදීමට පිටියට පිවිසි අතර ජස්ප්‍රීට් බුම්රා පන්දු යැවීම සඳහා කැඳවීය. පළමු පන්දුවේදී ලකුණක් සඳහා විලියම්සන් පැති මාරු කරගත් අතර දෙවැනි පන්දුවේදී නැවතත් ලකුණක් සඳහා ගප්ටිල් පැති මාරු කරගත්තේය.

තෙවැනි පන්දුවේදී ස්කෙයාර් ලෙග් කළාපයට ඉහළින් ලකුණු හයක් ලබාගත් විලියම්සන් සිවුවැනි පන්දුවේදී මිඩ් ඕෆ් කළාපයෙන් ලකුණු හතරක් ලබාගත්තේය. විලියම්සන්ගේ පිත්තේ නොවැදුණු පස්වැනි පන්දුව කඩුලු රකින්නා වෙත යන විට ලකුණක් සඳහා පැති මාරු කරගත් ගප්ටිල් අවසන් පන්දුවේදී ඩීප් මිඩ්විකට් සහ ලෝන්ග් ඕන් කළාපය අතරින් ලකුණු හතරක් ලබාගැනීමට සමත්විය.

ජයග්‍රහණය සඳහා ඕවර 20 කදී ලකුණු 180 ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි නවසීලන්තයට ඕවර 20 අවසානයේදී කඩුලු 6 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 179 ක් පමණි.

ජයග්‍රහණය සඳහා අවසන් ඕවරයේදී ලකුණු 9 ක් ලබාගැනීමට නවසීලන්තයට අවශ්‍යවූ නමුත් ලකුණු 8 කට සීමා කිරීමට මොහොමඞ් ශාමී සමත්විය. පළමු පන්දුවේදී ලකුණු 6 ක් ලබාගත් රොස් ටේලර් දෙවැනි පන්දුවේදී ලකුණක් සඳහා පැති මාරු කරගත්තේය. තෙවැනි පන්දුවට පහරක් එල්ල කරමින් කඩුලු රකින්නාගේ හිසට ඉහළින් යැවීමට කේන් විලියම්සන් උත්සහ කළද ඉතා අවාසනාවන්ත ලෙස උඩපන්දුවක් ලෙස කඩුලු රකින්නා රැකගැනීමත් සමගින් ඔහුට දැවීයාමට සිදුවිය. ටිම් සෙයිෆර්ට්ට සිවුවැනි පන්දුවේදී ලකුණක් ලබාගැනීමට නොහැකිවූ අතර පිත්තේ නොවැදුණු පස්වැනි පන්දුව කඩුලු රකින්නා වෙත යනවිට පැති මාරු කරගැනීමට පිතිකරුවෝ සමත්වූහ. ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවේදී ලකුණු ලබාගැනීමට තිබුනද පන්දුවට පහරදුන් රොස් ටේලර්ගේ පිත්තේ දාරයේ වැදුණු පන්දුව කඩුල්ල වෙත පැමිණීම හේතුවෙන් තරගය ලකුණු සමවීමෙන් අවසන් විය.

ප්‍රවේගකාරී පිතිහරඹයක නිරතවූ කේන් විලියම්සන් පන්දු 48 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 95 ක් රැස්කර සිටියදී කඩුලු රකින්නා වෙත ලබාදුන් උඩපන්දුව හේතුවෙන් ඉතා අවාසනාවන්ත ලෙස ශතකය පෙනි පෙනී දැවී ගියේය. මාර්ටින් ගප්ටිල් පන්දු 21 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 31 ක් ලබාගැනීමට සමත්විය.

ශර්දුල් ඨාකූර් ලකුණු 21 කට කඩුලු 2 ක් සහ මොහොමඞ් ශාමී ලකුණු 32 කට කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුව පන්දුවට පහරදීම සඳහා ඉන්දියාවට ආරාධනා කළ අතර ඕවර 20 අවසානයේදී කඩුලු 5 ක් දැවී ලකුණු 179 ක් රැස්කිරීමට ඉන්දියාව සමත්විය.

වේගවත් ආරම්භයක් ලබාගත් රෝහිත් ෂර්මා සහ ලෝකේෂ් රාහුල් පළමු කඩුල්ල සඳහා පන්දු 54 කදී ලකුණු 89 ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ. පන්දු 40 කදි හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 65 ක් රැස්කිරීමට රෝහිත් ෂර්මා සමත්වූ අතර පන්දු 19 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 27 ක් රැස්කිරීමට ලෝකේෂ් රාහුල් සමත්විය.

පන්දු 27 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 38 ක් රැස්කළ නායක විරාට් කෝලී ඉන්දීය ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත්විය.

පිතිකරුවන්ගේ දැඩි ප්‍රහාරයට ලක්වූ හමීෂ් බෙනට් සිය ඕවර 4 තුලදී ලකුණු 54 ක් ලබාදුන් අතර කඩුලු 3 ක් දවාගත්තේය.


ඉන්දියාව - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 179
(රෝහිත් ෂර්මා 65, ලෝකේෂ් රාහුල් 27, විරාට් කෝලී 38, හමිෂ් බෙනට් 54/3)

නවසීලන්තය - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 179
(මාර්ටින් ගප්ටිල් 31, කේන් විලියම්සන් 95, ශර්දුල් ඨාකූර් 21/2, මොහොමඞ් ශාමී 32/2)

...


අදහස් (0)

සුපිරි ඕවරයේ ජය ඉන්දියාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.