Last Update  :  2025-08-13 19:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ස්මිත් විවේචකයන්ට පිත්තෙන් පිළිතුරු දෙයි

ස්මිත් විවේචකයන්ට පිත්තෙන් පිළිතුරු දෙයි

editorial - 2021 ජන මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ස්ටීවන් ස්මිත් ලකුණු අතර නැතැයි සිය විවේචකයන් කී මැසිවිලිවලට නිසි පිළිතුරු දුන් ඕස්ට්‍රේලියානු පිලේ හිටපු නායක ස්ටීවන් ස්මිත්, නව වසරේදී මුහුණ දුන් පළමු ටෙස්ට් ඉනිමේදීම විශිෂ්ට ශතකයක් ලබාගත්තේය. සිඞ්නි නුවරදී ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයේදී ලබාගත් මෙම ශතකයත් සමගින් සිය 27 වැනි ටෙස්ට් ශතකය ලබාගත් ස්මිත් ශ්‍රීමත් ඩොනල්ඞ් බ්‍රැඞ්මන්ගෙන් පසුව අඩුම ටෙස්ට් ඉනිම සංඛ්‍යාවකින් ටෙස්ට් ශතක 27 ක්  ලබාගැනීමේ වාර්තාව තමන් සතු කරගත්තේය.

තරගයේ දෙවැනි දිනය වූ අද (8 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට ඉන්දීය පිල සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 96 ක් ලබා සිටියේය.

අසූව දශකය දක්වා, ලොව වැඩිම ටෙස්ට් ශතක ලාභියා වශයෙන් ලෝක වාර්තාව රැකගනු ලැබුවේ ඕස්ටේ්‍රලියාවේ අසහාය පිතිකරු ශ්‍රීමත් ඩොනල්ඞ් බ්‍රැඞ්මන් විසිනි. එහෙත් සුනිල් ගවස්කාර් විසින් සිය 28 වැනි ශතකය ලබාගනිමින් බ්‍රැඞ්මන්ගේ වාර්තාව තමන් සතුකරගත්තේය. එහෙත් බ්‍රැඞ්මන්ගේ ටෙස්ට් ශතක 27, පිතිකරුවකුගේ කඩයිමක් ලෙස දිගින් දිගටම පැවැතියේය.

මේ වන විට 31 හැවිරිදි සමිත් 2019 න් පසු ටෙස්ට් තරගයකදී ශතකයක් ලබාගත්තේ පළමු වතාවටය. ශතකයත් සමගින් ඔහු සිය කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 338 ක් කරා ඉහළ දැමීය.

පළමු ටෙස්ට් තරග දෙකේදීම අසාර්ථක වීම හේතුවෙන් ස්මිත් විවේචකයන්ගේ ඉලක්කයක්ව සිටියේය. එහෙත් ඒ ගැන කනස්සල්ලට පත්වූයේ ස්මිත් නොවේ. ස්මිත් කියා සිටියේ තමා කිසි විටෙකත් කනස්සල්ලට පත් නොවන බවයි. පසුගිය වසරේ අග භාගයේදී ඉන්දියාවට එරෙහි සීමිත ඕවර තරග දෙකකදී පිට පිටම තමන් ශතක ලබාගත් බවද ඔහු පෙන්වා දුන්නේය.

පළමු තරග දෙකේදීම රවිචන්ද්‍රන් අශ්වින් හමුවේ අමාරුවේ වැටුණු ස්මිත් අද ඔහුගේ හිසට ඉහළින් පන්දුව යන පරිදි ගැසූ පහර කිහිපයකින්ම දඟ පන්දු යවන්නාට සංග්‍රහ කළේය. එමගින් ස්මිත් අදහස් කළේ පන්දු යවන්නා පීඩනයට ලක්කිරීමයි.

ටෙස්ට් තරග වලදී ලකුණු 60 කට වැඩි සාමාන්‍යයක් රඳවාගෙන සිටින ස්මිත් අද පන්දු 226 කට මුහුණ දෙමින් ඒවායින් 16 ක් හතරේ සීමාවට යැවීය. මෙය වසර තුනකින් මෙපිට සිය මව්බිමේදී ස්මිත් ලබාගත් පළමු ශතකයයි. එම වසර තුනෙන් එකක් ඔහු තරග තහනමකට ලක්ව සිටියේ පන්දුව පළුදු කිරීමට දඬුවමක් ලෙසිනි.


ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම 338 යි
(විල් පූකොව්ස්කි 62, මානස් ලැබුෂේන් 91, ස්ටීවන් ස්මිත් 131, මැතිව් වේඞ් 13, මිචෙල් ස්ටාක් 24, ජස්ප්‍රීට් බුම්රා 66/2, නව්දීප් සයිනි 65/2, රවීන්ද්‍ර ජදේජා 62/4)

ඉන්දියාව - පළමු ඉනිම කඩුලු 2 ක් දැවී 96
(රෝහිත් ෂර්මා 26, ෂුබ්මන් ගිල් 50)

- 213


අදහස් (0)

ස්මිත් විවේචකයන්ට පිත්තෙන් පිළිතුරු දෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.