Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශායි හෝප්ගේ ශතකය කොදෙව් පිල දිනවයි

ශායි හෝප්ගේ ශතකය කොදෙව් පිල දිනවයි

editorial - 2021 මාර් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශායි හෝප්ගේ අගනා ශතකය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ (10 වැනිදා) සමත් විය.

මෙම ජයත් සමගින් තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේදී 1-0 ක් ලෙසින් කොදෙව්වෝ පෙරමුණ ගත්හ.

ජයග්‍රහණය සඳහා ලකුණු 233 ක ඉලක්කයක් හඹාගිය කොදෙව්වෝ ඕවර 3 ක් ඉතිරිව තිබියදී කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. ඩැරන් බ්‍රාවෝ නොදැවී ලකුණු 37 ක්ද, ජේසන් මොහොමඩ් නොදැවී ලකුණු 13 ක්ද රැස්කරමින් කොදෙව් ජයග්‍රහණය තහවුරු කළහ.

සිය 10 වැනි එක්දින ශතකය ලබාගත් ශායි හෝප්, කොදෙව් ජයග්‍රහණයේ නියමුවා බවට පත් වූයේ පන්දු 133 කදී හයේ පහරක් සහ හතරේ පහර 12 ක් සමග ලකුණු 110 ක් රැස්කරමිනි. එවින් ලුවිස් (65) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 170 කදී ලකුණු 143 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද හෝප් සමත් විය. පන්දු 90 කට මුහුණදුන් ලුවිස් හතරේ පහර 2 කින් සහ හතරේ පහර 4 කින් සිය අර්ධ ශතකය සැරසීය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ ඉතා සාර්ථක ලෙස පන්දුවට පහරදුන් කොදෙව් පිතිකරුවෝ යම් තරමක හෝ පසුබෑමක් පෙන්නුම් කළේ වනිඳු හසරංගට පමණි. සෙසු පන්දු යවන්නන් හමුවේ ලකුණු 5 කට වැඩි ලකුණු රැස්කිරීමේ සාමාන්‍යයක් රඳවාගත් කොදෙව්වන් තම ඕවර 10 තුළදී ලකුණු 26 කට සීමා කිරීමට වනිඳු සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට මැද පෙළ සහ පසු පෙළ කඩා වැටීම හේතුවෙන් ඕවර 49 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 232 ක් පමණි. සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කළ අෂේන් බණ්ඩාර දැඩි පීඩනයක් මැද පන්දු 60 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 50 ක් රැස්කළේ පැහැදිලි අනාගතයකට පෙරමං කියා පාමිනි.

ධනුෂ්ක ගුණතිලක (55) සහ නායක දිමුත් කරුණාරත්න (52) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 116 කදී ලකුණු 105 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. පන්දු 61 කදී වාර්තා වූ ධනුෂ්කගේ 9 වැනි එක්දින අර්ධ ශතකය හතරේ පහර 7 කින් සමන්විත වූ අතර පන්දු 61 කදී වාර්තා වූ දිමුත්ගේ 6 වැනි එක්දින අර්ධ ශතකයට හතරේ පහර 4 ක් ඇතුළත් විය.

කිරන් පොලාඩ්ගේ පන්දුවක් හමුවේ ඔහු අතටම උඩ පන්දුවක් දෙමින් දිමුත් දැවී යෑමත් සමග ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ලේ සම්බන්ධතාව නිමාවට පත් විය. ඉන් අනතුරුව ලකුණු 21 ක් තුළ තවත් කඩුලු 3 ක් අහිමි වීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කබලෙන් ලිපට ඇද වැටිණ.

ලකුණු ලබාගැනීමේ වේගය අඩාල වූ ශ්‍රී ලංකා ඉනිම යළි ගොඩනැගීමට උත්සාහයක් ගත් අෂේන් බණ්ඩාර තනිවම කණ්ඩායම ඇදගෙන ගියද, සහායට කිසිවකු නොසිටීම නිසා ඔහුට වැඩි යමක් කිරීමට නොහැකි විය. කඩුල්ලේ රැදී සිටීමට දැඩි වෙහෙසක් දැරූ දිනේෂ් චන්දිමාල්ටද පන්දු 24 කදී ලබාගත හැකි වූයේ ලකුණු 12 ක් පමණි.

පසුපෙල පිතිකරුවන් ලෙස කටයුතු කළ කමිඳු මෙන්ඩිස් (9) සහ වනිඳු හසංරගද (3) ලකුණු අතරට පැමිණීමට අපොහොසත් වීම ශ්‍රී ලංකා කණ්ඩායමට දරාගත නොහැකි පාඩුවක් විය. ශ්‍රී ලංකා ඉනිම නිමාවන තෙක් කඩුල්ලේ රැදී සිටි ලක්ෂාන් සඳකැන් පන්දු 20 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 16 ක් ලබා සිටියේය.

 


-036

 


අදහස් (0)

ශායි හෝප්ගේ ශතකය කොදෙව් පිල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.