වෝනර් - සාහා - රෂීඩ් හයිද්‍රාබාද් පිල දිනවති
නායක ඩේවිඩ් වෝනර්ගේ (66) සහ රිධිමන් සාහාගේ (87) වේගවත් පිතිහරඹයත්, රෂීඩ් ඛාන්ගේ දක්ෂ පන්දු යැවීමත් (07/3) හේතුවෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව අඟහරුවාදා (27) වැනිදා ඩුබායිහිදී පැවැති අයි.පී.එල්. තරගයෙන් ලකුණු 88 ක ජයක් අත්කර ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් විය. හයිද්‍රාබාද් කණ්ඩායම මෙවර තරගාවලියේදී ලැබූ 5 වැනි ජයග්‍රහණය මෙයයි.
පළමුවෙන් පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් කණ්ඩායම ඕවර 20 තුළදී කඩුලු 2 ක් දැවී ලකුණු 219 ක් ලබාගත්තේය. එහිදී ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 58 කදී ලකුණු 107 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට වෝනර් සහ සාහා සමත් වූහ. පන්දු 34 කට මුහුණදුන් වෝනර් හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු රැස්කළ අතර පන්දු 45 කදී වාර්තා වූ සාහාගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 12 ක් අන්තර්ගත විය.
රවිචන්ද්‍රන් අශ්වින්ගේ පන්දුවක් හමුවේ අක්ෂර් පටේල් අතට උඩ පන්දුවක් දෙමින් වෝනර් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත්විය. එතැන් පටන් මනීෂ් පාණ්ඩේ (නොදැවී 44) සමග එක්වූ සාහා තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 29 කදී ලකුණු 63 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිය කණ්ඩයමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය. පන්දු 31 කදී වාර්තා වූ පාණ්ඩේගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 220 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි කණ්ඩායම ඕවර 19 ක් අවසානයේ ලකුණු 131 කට සීමා කිරීමට රෂිඩ් ඛාන් ප්‍රමුඛ හයිද්‍රාබාද් පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිතර වූ රෂීඩ් සිය ඕවර 4 ලකුණු 07 කට සීමා කරමින් කඩුලු 3 ක් බිඳහෙළීය. දිල්ලි ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ඔහුට අනගි සහායක් දුන් ටී. නටරාජන් සහ සන්දීප් ශර්මා කඩුලු 2 බැගින් දවාගත්හ.
සන්රයිසස් හයිද්‍රාබාද් - ඕවර 20 කදී කඩුලු 2 ක් දැවී 219
(ඩේවිඩ් වෝනර් 66, රිධිමන් සාහා 87, මනීෂ් පාණ්ඩේ නොදැවී 44)
දිල්ලි කැපිටල්ස් - ඕවර 19 කදී සියලු දෙනා දැවී 131
(අජින්ක්‍යා රහනේ 26, ශිම්රන් හෙට්මයර් 16, රිෂාබ් පාන්ට් 36, තුෂාර් දේශ්පාණ්ඩේ නොදැවී 20, රෂීඩ් ඛාන් 07/3, ටී. නටරාජන් 26/2, සන්දීප් ශර්මා 27/2)
-036