Last Update  :  2025-08-14 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වේග පන්දු යවන්නෝ එංගලන්තයට හිසරදයක් වෙති

වේග පන්දු යවන්නෝ එංගලන්තයට හිසරදයක් වෙති

editorial - 2020 ජුලි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි තීරණාත්මක ටෙස්ට් තරගය සඳහා වන එංගලන්ත සංචිතයට ජොෆ්රා ආචර් නැවත කැඳවනු ලැබ තිබේ. විස්ඩන් කුසලාන වෙනුවෙන් පැවැත්වෙන මෙම තරගාවලිය මේ වන විට 1-1 ලෙසින් සමවී තිබෙන අතර හෙට (සිකුරාදා) ඇරඹෙන තරගයේ විසඳුම අනුව විස්ඩන් කුසලානයේ මීළඟ හිමිකරුවන් තීරණය කෙරෙනු ඇත.

කොරෝනා වයිරස් රෙගුලාසි උල්ලංඝණය කිරීම හේතුවෙන් දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකළ  ආචර් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ විනය පරීක්ෂණයකදී දැඩි අවවාද ලැබීය. ඊට අමතරව දඩයකට යටත් වීමටද ඔහුට සිදුවිය.

අනතුරුව ඩේලි මේල් පුවත් පතට තීරු ලිපියක් ලියමින් කාමරයේදී සිරවූ දින කිහිපයේදී වර්ගවාදී ප්‍රකාශ නිසා තමන් පීඩාවට පත්වූ බවද ආචර් හෙළිදරව් කළේය.  කොරෝනා වයිරස් රෙගුලාසි උල්ලංඝණය කිරීම හේතුවෙන් තමන් වර්ගවාදී වාචික ප්‍රහාරයන්ට ගොදුරු වූ බව පසුගිය බදාදා ප්‍රකාශයට පත් කළ ඩේලි මේල් පුවත්පතට ආචර් ලීවේය.

“මට මේ සතියේ මගේ ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසීමට හැකි වන පරිදි සියයට සියයක්ම මානසිකව නිවැරදි මට්ටමක සිටීමට හැකිවිය යුතුයි.... මම ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින්, පැයට සැතපුම් 90 ක වේගයෙන් පන්දු නොයවන්නේ නම් එය ප්‍රවෘත්තියක“  යයි ආචර් ලීවේ වර්ගවාදී වාචික ප්‍රහාරයන්ට ලක්වීමෙන් තමන් මහත් මානසික අසහනයට ලක්ව සිටින බවයි.

ආචර් සිය අදහස් අවංකවම ප්‍රකාශ කළ නමුත් ඔහුව කණ්ඩායමෙන් ඉවත් කිරීමට එංගලන්ත කණ්ඩායමේ සගයෝ සූදානම් නොවූහ. ඒ වෙනුවට ඔවුන් ආචර්ට මහත් ශක්තියක් වෙමින්, සිකුරාදා තරගය සඳහා වන එංගලන්තයේ 14 දෙනෙකුගෙන් යුත් සංචිතයට නැවත කැඳවාගත්හ.

සංචිතය නම්කිරීමෙන් පසුව එංගලන්ත ජාතික තේරීම් කමිටු සභාපති එඩ්වඩ් ස්මිත් කියා සිටියේ ආචර් තරගය සඳහා ඉතාමත් යෝග්‍ය අන්දමින් සිටින බවයි.

"ඔහු නැවත සංචිතයට පැමිණීම එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාවට හොඳ ආරංචියක්." යයි එඩ්වඩ් ස්මිත් කීවේය.

“එංගලන්ත කළමනාකාරිත්වය ජොෆ්රා සමඟ සමීපව සම්බන්ධ වී සිටිනවා. එංගලන්ත සංචිතයේ සිටින සෑම ක්‍රීඩකයෙකු ගැනම අපි ගැඹුරින් සැලකිලිමත් වෙනවා. එම සම්බන්ධතාවය සහ සන්නිවේදනය ජොෆ්රා සමඟත් සෑම විටම තිබුණා" යයිද හිටපු ටෙස්ට් පිතිකරුවෙකු වන ස්මිත් තවදුරටත් පැවසීය:

පසුගිය වසරේ ආරම්භයේ සිටම ටෙස්ට් තරග අටක දී ආචර් කඩුලු 33 ක් දවාගෙන ඇති අතර කඩුල්ලක සාමාන්‍යය 28.12 කි. එවන් වාර්තාවක් සතුවීම හේතුවෙන් කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තීරණාත්මක තරඟය සඳහා ආචර්ව එංගලන්ත සංචිතයට ඇතුළත් කර තිබේ.

ඕල්ඩ් ට්‍රැෆර්ඩ්හිදී පැවැති දෙවන ටෙස්ට් තරගයේදී ලකුණු 113 ක ජයක් ලබා ගැනීමට එංගලන්තයට මහෝපකාරීවූ ස්ටුවර්ට් බ්‍රෝඩ්, ක්‍රිස් වෝක්ස් සහ සෑම් කරන්ද තුන්වැනි තරගය සඳහා කැඳවා සිටිති. මේ අතර සදම්ප්ටන්හි පැවති පළමු ටෙස්ට් තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් කඩුලු 4 ක ජයක් ලැබීමෙන් පසුව විවේක ගත් එංගලන්තයේ ප්‍රමුඛ පෙළේ ටෙස්ට් කඩුලු රකින්නා වූ ජේම්ස් ඇන්ඩර්සන් සහ මාක් වුඩ් දෙදෙනාත් ආචර් සමගින් නැවතත් සංචිතයට කැඳවා තිබේ.

එංගලන්ත නායක ජෝ රූට් සහ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් දෙදෙනා තම කණ්ඩායමේ සංයුතිය සම්බන්ධයෙන් දැන් මහත් හිසරදයකට  මුහුණ දී සිටිති. ඒ වේග පන්දු යවන්නන් හයදෙනකුගෙන් තරගයට අවශ්‍ය සංඛ්‍යාව තෝරා ගැනීමේ ප්‍රශ්නයයි.

සමස්ත ලෝකයේම ක්‍රීඩාව එකතැන නතර කළ  කොරෝනා වයිරසයේ බලපෑමෙන් පසුව අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාව නැවත ආරම්භ කෙරුණේ එංගලන්ත – කොදෙව් තරගාවලියෙනි. කෙසේ වෙතත් අද ඇරඹෙන තරගයේදී  කොදෙව් පිල ජයගතහොත් එය වසර 32 කට පසුව  එංගලන්තයේදී ඔවුන් ලැබූ පළමු ටෙස්ට් තරගමාලාව වනු ඇත.

 

එංගලන්ත ටෙස්ට් සංචිතය:

ජෝ රූට් (නායක), ජේම්ස් ඇන්ඩර්සන්, ජොෆ්රා ආචර්, ඩොම් බෙස්, ස්ටුවර්ට් බ්‍රෝඩ්, රෝරි බර්න්ස්, ජොස් බට්ලර්, සැක් ක්‍රෝලි, සෑම් කරන්, ඔලී පෝප්, ඩොම් සිබ්ලි, බෙන් ස්ටොක්ස්, ක්‍රිස් වෝක්ස් සහ මාක් වුඩ්

 

- 213


අදහස් (0)

වේග පන්දු යවන්නෝ එංගලන්තයට හිසරදයක් වෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.