Last Update  :  2025-08-14 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket විස්ඩන් කුසලානය කටුගෙට යවයි

විස්ඩන් කුසලානය කටුගෙට යවයි

editorial - 2020 ජුලි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම : දමින්ද විජේසූරිය)

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වෙන මීළඟ ටෙස්ට් තරගාවලියේ ජයග්‍රාහකයන්ට ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් සහ ශ්‍රීමත් ඉයන් බොතම් දෙදෙනාගේ නමින් නව කුසලානයක් පිරිනැමෙනු ඇත. ඒ අනුව ද්විපාර්ශ්වික ටෙස්ට් තරගාවලි වෙනුවෙන් පිරිනැමෙන පැරණිතම කුසලානය වන විස්ඩන් කුසලානය දැන් පැවැත්වෙන තරගාවලියෙන් පසුව ලෝඩ්ස් කෞතුකාගාරයට යැවෙනු ඇත.

මින් ඉදිරියේදී දෙපිලම රිචර්ඩ්ස්-බොතම් කුසලානය වෙනුවෙන් තරඟ වදිනු ඇත.
“එය ඇත්තෙන්ම විශාල ගෞරවයක්... ඒත් තරමක් පුදුම සහගතයි,” යයි මේ සම්බන්ධයෙන් ශ්‍රීමත් බොතම් පැවසීය.

ලෝකයේ සිටි විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයකු වන ඉයන් ටෙරන්ස් බොතම් එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් ලකුණු 5,200 ක් රැස් කළ අතර ටෙස්ට් තරග 102 කදී කඩුලු 383 ක් ලබා ගනිමින් වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවාගැනීමේ ලෝක වාර්තාවද හිමිකරගෙන සිටියේය.

බටහිර ඉන්දීය දූපත් සමූහයට අයත් ඇන්ටිගුවාහිදී උපත ලද විවියන් ඇලෙක්සැන්ඩර් රිචඩ්ස් බටහිර ඉන්දීය කොදෙව් පිල වෙනුවෙන් ටෙස්ට් 121 කදී ලකුණු 8,540 ක් රැස් කළේ ඉනිමකදී ලකුණු 50.23 ක සාමාන්‍යයක් රඳවා ගනිමිනි. ඔහු අති විශිෂ්ට පන්දු රකින්නෙකුද විය.

මෙම ක්‍රීඩකයන් දෙදෙනා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී කණ්ඩායම් දෙකක් නියෝජනය කළද එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේදී දෙදෙනාම සමර්සෙට් පිල වෙනුවෙන් ක්‍රීඩා කළහ. කලක් එකම නිවසක වාසය කළහ. එනිසාම ශ්‍රීමත් ඉයන් බොතම් සහ ශ්‍රීමත් විවියන් රිචඩ්ස් වසර 50 කට ආසන්න කාලයක් පුරා ඉතා සමීප මිතුරෝ වෙති.
 
“මම මා ගැන තරමටම විව් වෙනුවෙනුත් සතුටු වෙනවා... ඔහු මා මෙතෙක් පන්දු යැවූ හොඳම පිතිකරුවායි... ඒ වගේම ක්‍රීඩාවේ සෑම ආකෘතියකින්ම ඔහු හොඳම ක්‍රීඩකයාත් වෙනවා” යයි බීබීසී ටෙස්ට් මැච් ස්පෙෂල් ගුවන් විදුලි සේවයේ ඊසා ගුහා සමඟ අදහස් දක්වමින් ශ්‍රීමත් ඉයන් බොතම් පැවසීය.

ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම කැපවූ ලොව ප්‍රථම වාර්ෂික ප්‍රකාශනය වන විස්ඩන් සඟරාවේ 100 වැනි එළිදැක්වීම සැමරීම සඳහා 1963 දී ප්‍රථම වරට විස්ඩන් කුසලානය ප්‍රදානය කරන ලදී.

එංගලන්තයේ හිටපු ටෙස්ට් නායක මයිකල් ඇතර්ටන් සති කිහිපයට පෙර කියා සිටියේ මෙම කුසලානය නැවතත් නම්කළ යුතු බවයි. ඇතර්ටන්ගේ තර්කය වූයේ විස්ඩන් සඟරාවේ නිර්මාතෘවරයා වන ජෝන් විස්ඩන් මහතා එංගලන්තයේ ප්‍රාන්ත තරග වලට සහභාගි වූ අයකු වන නමුත් එංගලන්ත - කොදෙව් තරගාවලියට ඔහුගේ දායකත්වයක් නොතිබූ බවයි.
 
දැන් පැවැත්වෙන තරගාවලියෙන් පසුව විස්ඩන් කුසලානය ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ කෞතුකාගාරයක ප්‍රදර්ශනය කෙරේ.

“මම එංගලන්තයට පැමිණි අවස්ථාවලදී ඉයන් මට විශාල පිළිගැනීමක් ලබා දුන්නා. ඉතාමත් සාදරයෙන් මාව පිළිගත්තා” රිචඩ්ස් පැවසීය.

“ලොව පුරා විපරීත පුද්ගලයන් සිටිය හැකියි. ඒත් සෑම කෙනෙකුම මෙම (කළු) වර්ණය අගය කරන්නේ නෑ....ඒත් ඉයන් මාව මිතුරෙකු ලෙස බාරගත්තා.... ඒ කාලයේදී අපි ලෝකයට විශාල පණිවිඩයක් යැව්වා. විවිධ ජාතීන්ට අයත් දෙදෙනෙකුට එකට තරඟ කළ හැකි බවත්, එකට ජීවත් විය හැකි බවත්, හොඳ දේවල් එකට බෙදා ගත හැකි බවත් අපි දෙන්නා ලෝකයාට පෙන්වා දුන්නා” යයි විව් රිචඩ්ස් පැවසීය.

විස්ඩන් කුසලානය ප්‍රථම වරට ප්‍රදානය කළ දින සිට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එංගලන්තයට එරෙහිව තරගාවලි 14 ක් ජයගෙන තිබේ. 1963 සිට 2020 දක්වා කාලය තුළ තරගාවලි 27 ක් පවත්වා තිබේ. එංගලන්තය තරගාවලි 9 ක් ජයග්‍රහණය කර ඇති අතර තරගාවලි 4 ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.

මේ වන විට එංගලන්තයේදී පැවැත්වෙන තරගාවලිය 1-1 ක් ලෙස, සමවී තිබෙන අතර ඕල්ඩ්ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ ජයග්‍රාහකයා විස්ඩන් කුසලානය ඔසවා ගනු ඇත. එහෙත් මෙම තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වුවහොත් 2019 දී එංගලන්තය 2-1 ක් ලෙස පරාජය කළ වත්මන් කොදෙව් කණ්ඩායම විස්ඩන් කුසලානයේ හිමිකරුවන් වනු ඇත.

 

ටෙස්ට් ක්‍රිකට් පිටියේදී ද්විපාර්ශ්වික තරගාවලි සඳහා පිරිනැමෙන කුසලාන
■    චැපල් - හැඩ්ලි කුසලාන (ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර)
■    බෝඩර් - ගවස්කාර් කුසලාන (ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර)
■    වෝන් - මුරලි කුසලාන (ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර)
■    සෝබර්ස් - තිසේරා කුසලාන (ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර)
■    බැසිල් ඩි’ඔලිවේරා කුසලාන (දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර)
■    රිචඩ්ස් - බොතම් කුසලාන (බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තය අතර)

විවියන් රිචර්ඩ්ස්

 

ඉයන් බොතම්


අදහස් (0)

විස්ඩන් කුසලානය කටුගෙට යවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.