Last Update  :  2025-12-22 21:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලෝක පිලේ නායකත්වය අෆ්රීඩිට

ලෝක පිලේ නායකත්වය අෆ්රීඩිට

ශනුක අරවින්ද - 2018 මැයි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සහ ලෝක විස්සයි 20 කණ්ඩායම අතර ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී අද (31 වැනිදා) පැවැත්වීමට නියමිත විස්සයි 20 තරගයේදී ලෝක කණ්ඩායමේ නායකත්වය සඳහා සහීඞ් අෆ්රීඩි පත්කර තිබේ. ලෝක කණ්ඩායමේ නායකත්වයට පත්කර සිටි එංගලන්ත නායක ඔයින් මෝගන් තුවාල ලැබීම නිසා ලෝක කණ්ඩායමේ ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයා වන අෆ්රීඩිට නායකත්වය පැවරී තිබේ.

කොදෙව් කණ්ඩායම කාලෝස් බ්‍රේත්වයිට් විසින් මෙහෙයවනු ලැබේ.

මෙම තරගය සංවිධානය කිරිමේ ප්‍රධාන අභිප්‍රාය වන්නේ පසුගිය වසර අග භාගයේ කැරිබියන් දූපත් හරහා ඇදී ආ ‘ඉර්මා‘ හා ‘මරියා’ කුණාටු නිසා විනාශයට පත් වූ කැරිබියානු ප්‍රධාන පෙළේ ක්‍රිකට් ක්‍රීඩාංගණ නැවත යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමයි.

විස්සයි 20 තරග 98 ක්‍රීඩාකර ඇති අෆ්රිඩි වි-20 තරග වලදී ලකුණු 1405 ක් සහ කඩුලු 97 ක් ලබා ගෙන ඇත. ලෝක කණ්ඩායමට කි්‍රීඩා කිරිමට කැමැත්ත පලකර තිබුණත් පසුගියදා දණහිසේ ඇතිවූ ආබාධයක් නිසා මෙවර කණ්ඩායමට ක්‍රිඩා කරනවාද නැද්ද යන්න පිළිබඳව පැවතියේ අවිනිශ්චිත බවකි. නමුත් ආබාධ තත්ත්වය සුව වීමෙන් අනතුරුව නැවතත් කණ්ඩායමට එක්වූ අෆ්රිඩිට මෝගන්ගේ ආබාධ තත්ත්වයත් සමග කණ්ඩායම මෙහෙයවිමේ කාර්යභාරයද හිමිවිය.

ලෝක පිළට ක්‍රීඩා කරන එකම ශ්‍රී ලාංකිකයා වන්නේ තිසර පෙරේරාය. තිසර පෙරේරා 2014 වසරේ පැවති විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියෙදී් ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකු මෙන්ම, පසුගිය වසරේදී ලාහෝර්හිදී පකිස්තානයට එරෙහිව ලෝක ක්‍රිකට් කණ්ඩායමද නියෝජනය කලේය.

“පසුගිය වසරේ ලාහෝර්හිදී පකිස්තානයට එරෙහිව ලෝක ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමෙන් අනතුරුව දෙවන වතාවටද ලෝක ක්‍රිකට් කණ්ඩායමට ක්‍රිඩා කිරීමට මට වරප්‍රසාද ලැබී තියෙනවා. මා මේ තරගය දෙස බලන්නේ මහත් උනන්දුවෙන්. එසේම ලෝකයේ ප්‍රධාන පෙළේ ක්‍රීඩකයන් සමග උරින් උර ගැටීමට ලැබීම දුර්ලභ අවස්ථාවක්.”

“මට ලබාදුන් අවස්ථාව පිළිබඳ මම ඉතාමත් සතුටට පත් වෙනවා. බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩාංගණ නැවත ගොඩ නැගීම සඳහා ක්‍රීඩකයන් එකතු වී සිටීම සතුටට කරුණක්. බටහිර ඉන්දීය කොදෙව්වන් වසර ගණනාවක් පුරා ලෝක ක්‍රිකට් ක්‍රීඩාව සඳහා දායකත්වය සපයා තියෙනවා. මේ මොහොතේ අපේ පරම්පරාවේ ක්‍රීඩකයන් මේ සඳහා සහයෝගය ලබාදීම කළ යුතුයි” යැයි තිසර පෙරේරා පැවසීය.

පකිස්තානු හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ෂොයිබ් මලික්ද මෙවර ලෝක කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව උදාකර ගත් අතර විස්සයි 20 තරග 89 ක්‍රීඩාකර ඇති මලික් අර්ධ ශතක 5ක් සමගින් ලකුණු 1753 ලබා ඇත. එංගලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කරන සෑම් බිලින්ග්ස් සහ සරේ කණ්ඩායමට ක්‍රිඩා කරන සෑම් කරම්ද මෙවර සංචිතයට එක් කර ඇත. එංගලන්තයේ ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ සසෙක්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන ටයිමල් මිල්ස් සහ එංගලන්තයේ වමත් දග පන්දු යවන්නෙකු වන අදිල් රෂීඞ්ද මෙවර ලෝක කණ්ඩායම නියෝජනය කරනු ලැබේ.

මෙවර ලෝක පිළට එක්කර සිටින ඇෆ්ඝනිස්තාන ක්‍රීඩක රශීඞ් ඛාන් වර්තමාන විස්සයි 20 ශ්‍රේණිගත කිරිමේ සටහනේ පළමු ස්ථානයේත්, එක්දින ශ්‍රේණිගත කිරීම් වලට අනුව දෙවන ස්ථානයේත් පසුවෙයි. විස්සයි 20 තරග 29 ක්‍රිඩාකර ඇති රශීඞ් ඛාන් කඩුලු 47 දවාගෙන ඇත. පසුගියදා අවසන් වූ ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කරමින් වැඩිම කඩුලු ලාභීන්ගේ සටහනේ දෙවන ස්ථානයේ පසුවූයේ  කඩුලු 21 දවාලමනි. කණ්ඩායමේ සිටින ලාබාලතම ක්‍රීඩකයා වශයෙන් නේපාල් ක්‍රීඩක සන්දීප් ලැමිචාන්ද මෙවර ලෝක කණ්ඩායම නියෝජනය කිරිමට අවස්ථාව උදා කරගත්තේය.

මෙවර ලෝක කණ්ඩායමට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් 13 දෙනෙකුගෙන් යුත් සංචිතයේ ක්‍රීඩකයන් 7 දෙනෙකුම ආසියාතිකයන් වීමද විශේෂත්වයකි.

-024

 


අදහස් (0)

ලෝක පිලේ නායකත්වය අෆ්රීඩිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.