Last Update  :  2025-12-23 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලැමිචාන් ලෝක පිලට එක්වෙයි

ලැමිචාන් ලෝක පිලට එක්වෙයි

Nisanka Sandeepani - 2018 මැයි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව මේ මස 31 වෙනිදා පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගය සදහා නම් කරන ලද ලෝක ක්‍රිකට් කණ්ඩායමට නේපාලයේ 17 හැවිරිදි සන්දීප් ලැමිචාන් කැදවා ඇත. 

නේපාල කණ්ඩායමේ පුහුණුකරු ලෙස 2014 වර්ෂයේදී කටයුතු කළ පුබුදු දසනායක මහතා විසින් සන්දීප් ලැමිචාන්ව මුල් වරට හදුනා ගන්නා ලදි. පසුව 2016 වර්ෂයේදී ප්‍රථම වරට නේපාල වයස 19න් පහළ කණ්ඩායම නියෝජනය කිරීමට සන්දීප්ට අවස්ථාව හිමි විය. 

ප්‍රථම තරගාවලියට එක්වූ සන්දීප්  එම තරගවාරයේදී කඩුලු 16ක් බිඳ හෙලමින් ඉහළ දක්ෂතා පෙන්වීමට සමත් විය. එසේම පසුගිය වසරේ අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් හයවන වරටත් සංවිධානය කළ ක්‍රිකට් ලීග් තරගාවලියේදී දෙවන කාණ්ඩය යටතේ තරගකළ නේපාල කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ සන්දීප් ලැමිචාන් එහිදිද කඩුලු 17ක් බිඳ හෙලීය. 

2019 ලෝක කුසලාන තරගාවලියට නේපාල කණ්ඩායමට සුදුසුකම් ලැබීමට නොහැකි වුවත් මෙම වසරේ මාර්තු මාසයේදී පැවැති සුදුසුකම් ලැබීමේ වටයේදී කඩුලු 13ක් බිඳ හෙලමින් ඉහළ දක්ෂතා පෙන්වීමට සන්දිප්ට හැකි විය. 

“අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් ලෝක විස්සයි 20 කණ්ඩායමේ සාමාජිකයකු ලෙස මා තෝරා ගෙන තියෙනවා. නේපාලයේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආඩම්බරයත් ජාත්‍යන්තරය දක්වා අපි රැගෙන යන්න ඕන” යැයි සන්දීප් ලැමිචේන් පවසා සිටියේය. 

“පුහුණුවීම් කටයුතුවලදී වගේම විවේක කාමරයේදී ක්‍රීඩකයන් අදහස් හුවමාරු කර ගන්නා ආකාරයත් පිට්ටනියේදී ඔවුන් ක්‍රීඩා කරන ආකාරයත් ඉගෙන ගන්න මෙය මට හොඳ අවස්ථාවක්” යයි ලැමිචාන් පැවසීය. 

ලෝඞ්ස් පිටියේදී ක්‍රීඩා කරන්නට අවස්ථාවක් ලැබීම සම්බන්ධයෙන් ඔහු මෙසේ කීවේය. 

“ලෝඞ්ස් ගැන මොනවා කියන්නද? එය ක්‍රිකට් ක්‍රීඩාවේ මහ ගෙදර”

“ක්‍රිකට් ක්‍රීඩාවේ අංගසම්පූර්ණ ඉතිහාසයක් වගේම ලෝඞ්ස් කියන්නෙ ඕනම ක්‍රීඩයෙකුගේ සිහින රැඳිලා තියෙන ස්ථානය......... 2016 වසරේ එම සිහිනය මම ඉටු කර ගත්තා. මට දැන් නැවතත් එහි යන්න අවස්ථාව ලැබිලා තියෙනවා.”

“ලෝක සිතියමේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතර මගේ රටත් ඉහළින් තබන්න මම මගේ හැකියාවන් උපරිම ප්‍රයෝජනයට ගන්නවා. ඒ සඳහා මට මෙය හොඳ අවස්ථාවක්” යැයි ඔහු තව දුටත් පවසා සිටියේය. 

මැයි මස 31 වැනිදා එංගලන්තයේ ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ආධාර තරගයේදී එංගලන්ත නායක ඔයින් මෝගන් ලෝක කණ්ඩායමේ නායකත්වය දරයි. ඔයින් මෝගන්, නවසීලන්තයේ ලූක් රොන්කි සහ මිචෙල් මැක්ලෙනගන් හැරුණු විට ලෝක කණ්ඩායමට ඇතුළත් සෙසු ක්‍රීඩකයන් 8 දෙනාම ආසියාතිකයන්  වීම විශේෂත්වයකි.

මේ මස 7 වන දිනට ලෝක ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන සංචිතය නම් කළ මුත් සකීබ් අල් හසන් පෞද්ගලික හේතුවක් මත කණ්ඩායමෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. ඔහුගේ ස්ථානය සඳහා කවුරුන් ක්‍රීඩා කරනවාද යන්න හැකි ඉක්මනින් ඉදිරියේදී දන්වා සිටින බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව පවසා ඇත. 

‘ඉර්මා’ සහ ‘මරියා’ කුණාටු නිසා විනාශයට පත් වූ කොදෙව් දූපත්හී ප්‍රධාන පෙලේ ක්‍රිකට් ක්‍රීඩාංගණ නැවත යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමේ අරමුණින් මෙම විස්සයි 20 තරගය සංවිධානය කර තිබේ. 

ලෝක කණ්ඩායම 

ඔයින් මෝගන් (නායක), දිනේෂ් කාර්තික්, මිචෙල් මැක්ලෙනගන්, හර්දික් පාණ්ඩ්‍යා, තිසර පෙරේරා, රෂීඞ් ඛාන්, ලුක් රොන්කි, සහීඞ් අෆ්රිඩි, ෂොයිබ් මලික්, ටමිම් ඉක්බාල් සහ සන්දීප් ලැමිචාන් 

024 

   


අදහස් (0)

ලැමිචාන් ලෝක පිලට එක්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.