Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ටෙස්ට් ඉනිම 20 කට පසුව ශතකයක් ලබාගත් කුසල් මෙන්ඩිස්ගේ (නොදැවී 116) පිතිහරඹය හේතුවෙන් සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. පළමු තරගය ජයගත් හෙයින් තරගාවලියේදී 1-0 ක ජයක් ශ්‍රී ලංකා පිලට අත්විය.
තරගයේ අවසන් දිනය වූ අද (31 වැනිදා) ලකුණු 361 ක් ලබාගැනීමේ අභියෝගයට මුහුණ දුන් ශ්‍රී ලංකා කණ්ඩායම තරගය අවසන් වන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 204 ක් ලබා සිටියේය. පැය 5 කට ආසන්න කාලයක් පිටියේ රැඳෙමින් පන්දු 233 කට මුහුණ දුන් කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 116 ක් ලබා සිටියේය. පැයකට වැඩි කාලයක් කඩුල්ල ආරක්‍ෂා කරගත් දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 13 ක් ලබා ගත්තේය.
දෙවැනි ඉනිමේදී පිති අතට ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ මූලික අරමුණ වූයේ ඉවක් බවක් නැතිව ඉලක්කය කරා යාම නොව, පළමුව තරගය පරාජය නොවන ස්ථාවරයකට පිවිසීමයි. එබැවින් දිනයේ අවසන් හෝරා දෙක සඳහා කඩුලු 7 ක් ආරක්‍ෂා කරගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත් වූහ.
ජයග්‍රහණය කරා යාමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම තේ පානයෙන් පසුව ලකුණු 205 ක් ලබාගත යුතුව තිබිණ. එහෙත් එය පහසු සෙල්ලමක් නොවූයේ දිවා ආහාරයත් තේ පානයත් අතර තුර කාලයේදී ශ්‍රී ලංකා පිලට එක්වූයේ ලකුණු 51 ක් පමණක් වූ බැවිනි.
දෙවැනි ඉනිමේදී පළමු කඩුල්ල ලකුණු 26 දී බිඳ වැටුණ නමුත් මොරටුවේ පිතිකරුවන් දෙදෙනා වූ ඕෂධ ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 81 ක් එකතු කළහ. ඕෂධ සිය අර්ධ ශතකය පෙනි පෙනී දැවීගියද කුසල් මෙන්ඩිස් දිගටම පිටියේ රැඳී සිටිමින් සිය ශතකය ලබාගත්තේ තම සීමාවෙන් ඉවතට පැමිණෙමින් සිකන්දර් රාසා හමුවේ ගැසූ හයේ පහරකිනි.
තේ පානයට මඳ වේලාවකට පෙ රමැතිව්ස් දැවී යාමෙන් සිම්බාබ්වේ පිලට ජයග්‍රහණයේ කිසියම් බලාපොරොත්තුවක් ඇතිවූ නමුත් පන්දු 18 කින් ලකුණු 3 ක් පමණක් ලබාගත් දිනේෂ් චන්දිමාල් තේ පානයට පෙර තවත් කඩුල්ලක් දවාගැනීමේ අවස්ථාව සත්කාරකයන්ට නොදුන්නේය. තේ පානයෙන් පසුව තරගය පැවැතියේ යන්තම් පැයක කාලයක් පමණි.
හෝරාවකදී ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූ ලකුණු 157 ක් ලබාගැනීම හෝ ඉතිරි වී තිබූ කඩුලු 7 දවාගැනීම අසීරු කාරියක් වූ හෙයින් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරන ලදි.
..
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.