Last Update  :  2025-08-14 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මුම්බායි ක්‍රීඩකයෝ කඩයිම් වටයට පිවිසෙති

මුම්බායි ක්‍රීඩකයෝ කඩයිම් වටයට පිවිසෙති

editorial - 2020 ඔක් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 


ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ බ්‍රහස්පතින්දා (29 වැනිදා) ඩුබායිහිදී පැවැති තරගයකදී කොල්කටා නයිට් රයිඩර්ස් පිලට එරෙහිව චෙන්නායි සුපර් කිංග්ස් පිල කඩුලු 6 ක ජයක් ලැබීමත් සමගින් මෙවර තරගාවලියේ කඩයිම් වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත්වීමට මුම්බායි ඉන්දියන්ස් පිල සමත්විය.

අයි.පී,එල්. කුසලානය පසුගිය වසරේදී දිනාගත් මුම්බායි ඉන්දියන්ස් පිලේ ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක මහේල ජයවර්ධන මහතා කටයුතු කරයි. පසුගිය වසරේ අවසන් මහ තරගයට ක්‍රීඩා කළ චෙන්නායි පිල මේ වනවිටත් තරගාවලියේ ඉවතට විසිවී ගොස් තිබේ.

චෙන්නායි පිල හමුවේ තරගය පරාජයට පත්වීමත් සමගින් කොල්කටා නයිට් රයිඩර්ස් පිල අවදානම් තත්වයකට වැටී ඇත. තරග 13 කදී ප්‍රසාද ලකුණු 12 ක් ලබා සිටින කොල්කටා පිල මූලික වටයේ අවසන් තරගය ජය ගත්තද ඔවුන්ට හිමිවන්නේ ප්‍රසාද ලකුණු 14 කි. මේ වනවිට ප්‍රසාද ලකුණු 16 ක් ලබා සිටින මුම්බායි පිලට තවත් තරඟ දෙකක් අතිරිව ඇති අතර දැන් ඔවුන්ගේ අභිප්‍රායවී ඇත්තේ ප්‍රසාද ලකුණු සටහන් ඉහළම කණ්ඩායම් දෙක අතරට එක්වීමයි. මූලික වටය අවසානයේදී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙකෙන් එකකට කඩයිම් වටයේදී කෙලින්ම අවසන් තරගයට සුදුසුකම් ලබාගත හැකි අතර පරාජයට පත්වන කණ්ඩායමට තවත් අවස්ථාවක් හිමිවනු ඇත.

කොල්කටා පිල පරාජයට පත්වීමත් සමගින් ප්‍රසාද ලකුණු 14 බැගින් ලබා ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි සහ තෙවැනි ස්ථානයන්හී පසුවන රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් සහ දිල්ලි කැපිටල් කණ්ඩායම් වලට කඩයිම් වටය සඳහා යෑම පහසුවී ඇත. එම කණ්ඩායම් දෙකටම තවත් තරග දෙක බැගින් ඉතිරිවී ඇත.

කඩයිම් වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් පිලට, තරග 12 කදී ප්‍රසාද ලකුණු 12 ක් ලබාසිටින කිංග්ස් XI පංජාබ් පිල මෙන්ම තරග 12 කදී ප්‍රසාද ලකුණු 10 බැගින් ලබා සිටින සන්රයිසස් හයිද්‍රාබාද් සහ රාජස්ථාන් රෝයල්ස් යන කණ්ඩායම් සමගින් තියුණු සටනක් දීමට සිදුවනු ඇත.

සිය කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට ගෙන ඒමට විශාල දායකත්වයක් ලබාදෙමින් ලකුණු 595 ක් ලබාගනිමින් ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 59.50 ක් රඳවාගත් කිංග්ස් XI පංජාබ් පිලේ නායක ලෝකේෂ් රාහුල් තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවාට හිමිවන තැඹිලි පැහැති හිස්වැස්මට අත පොවන මානයේ සිටී.

ලෝකේෂ්ට පසුව දිල්ලි කැපිටල් පිලේ ශීකර් ධවාන් පිට පිට ලබාගත් ශතක දෙකත් සමගින් ලකුණු 471 ක් ලබාගනිමින් දෙවන ස්ථානයේ පසුවන අතර ලකුණු 436 ක් ලබාගත් සන්රයිසස් හයිද්‍රාබාද් පිලේ නායක ඬේවිඞ් වෝනර් තෙවැනි ස්ථානය දක්වා ඉහළ පැමිණ තිබේ. රෝයල් චැලේන්ජර්ස් පිලේ නායක විරාට් කෝලී ලකුණු 424 ක් ලබාගනිමින් සිවුවැනි ස්ථානය පසුවන අතර බැංගලෝර් පිලේම ක්‍රීඩකයකු වන දේව්දූත් පඩික්කාල් ලකුණු 417 ක් ලබාගනිමින් පස්වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ.

සිය කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ ඉහළට රැගෙන ඒම සඳහා වැඩි මෙහෙයක් සිදු කළ දිල්ලි කැපිටල් පිලේ වේගපන්දු යවන ක්‍රීඩක කගිසෝ රබාඩා කඩුලු 23 ලබාගනිමින් තරගාවලියේ වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නාට හිමිවන දම් පැහැ හිස්වැස්ම අතැතිව සිටී.

කඩුලු 20 බැගින් දවාගනිමින් මුම්බායි ඉන්දියන්ස් පිලේ ජස්ප්‍රීට් බුම්රා සහ කිංග්ස් ඞෂ පංජාබ් පිලේ මොහොමඞ් ශාමී පිළිවෙලින් දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවෙති. කඩුලු 18 ක් දවාගෙන ඇති බැංගලෝර් පිලේ යුස්වේන්ද්‍ර චාහල් සිවුවැනි ස්ථානයේ පසුවන අතර සන්රයිසස් හයිද්‍රාබාද් පිලේ රෂීඞ් ඛාන් කඩුලු 17 ක් දවාගනිමින් මෙවර තරගාවලියේ වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නන් අතර පස්වැනි ස්ථානයේ පසුවන්නේය.
 
 
- 2079

 


අදහස් (0)

මුම්බායි ක්‍රීඩකයෝ කඩයිම් වටයට පිවිසෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.