Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මාස 13 කට පසු කොදෙව්වෝ වාඩුව ගනිති

මාස 13 කට පසු කොදෙව්වෝ වාඩුව ගනිති

editorial - 2021 මාර් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිව්වැනි එක්දින අන්තර්ජාතික ශතකය වාර්තා කළ ඩැරන් බ්‍රාවෝ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තුන්වැනි එක්දින තරගයේදී කඩුලු 5 ක ජයක් කරා කොදෙව් පිල කැඳවාගෙන ගියේය. මෙම තරගයේදී ලබාගත් ජයග්‍රහණයත් සමගින් තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 3-0 ක් ලෙසින් ජයගැනීමටද කොදෙව්වෝ සමත් වූහ. බටහිර ඉන්දීය දූපත් සමූහයට අයත් ඇන්ටිගුවාහිදී ඉරිදා (14 වැනිදා) මෙම තරගය පැවැත්විණ.

අභියෝගාත්මක ඉලක්කයක් හඹා ගිය කොදෙව් පිල වෙනුවෙන් ඩැරන් බ්‍රාවෝ ලකුණු රැස්කිරීමේ බර කරට ගත්තේ පන්දු 132 කින් ලකුණු 102 ක් රැස්කරමිනි. හතරේ පහර 5 කින් සහ හයේ පහර 4 කින් සිය ඉනිම අලංකාර කළ බ්‍රාවෝ ටෙස්ට් සංචිතයට තමන් නැවත කැඳවීම වඩාත් සාධාරණ තීරණයක් බව සිය පිත්තෙන් පෙන්වා දුන්නේය.

තරගයේ වීරයා සම්මානය සඳහා ඩැරන් බ්‍රාවෝ ද තරගාවලියේ වීරයා වශයෙන් ෂායි හෝප් ද පහසු තේරීම් විය. පළමු සහ දෙවැනි එක්දින තරග දෙකේදී පිළිවෙලින් ලකුණු 110 ක් සහ 84 ක් ලබාගත් ආරම්භක පිතිකරුවා ඉරිදා තරගයේදී තවත් අලංකාර ලකුණු 64 ක් ලබාගත්තේ තරගාවලියේ වීරයා සම්මානය වෙනත් කිසිවකු ආසන්නයට යා නොදී රැකගනිමිනි.

දෙවැනි තරගයේදී ලද අනපේක්‍ෂිත පරාජයෙන් පසුව තුන්වැනි තරගය වෙනුවෙන් වෙනස්කම් තුනක් කළ නමුත් වඩාත් වෘත්තීය මට්ටමේ සිටිමින් තරග කළ කොදෙව් ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා කණ්ඩායම පහසුවෙන් පරාජය කළහ.

සුරංග ලක්මාල් හමුවේ ඩැරන් බ්‍රාවෝ දැවී යන විට ලකුණු සංඛ්‍යාව සටහන් වූයේ කඩුලු 5 කට ලකුණු 249 ක් ලෙසිනි. එහෙත් ඒ වන විට ජයග්‍රහණය සඳහා පන්දු 23 කදී ලකුණු 26 ක් අවශ්‍යව තිබිණ. අවසන් පන්දු කිහිපයේදී පන්දු යවන්නන්ට කරට නැඟීමට අවසර නොදුන් නායක කිරන් පොලාර්ඩ් සහ ටෙස්ට් පිලේ හිටපු නායක ජේසන් හෝල්ඩර් පන්දු 14 කදී තරගය නිමා කළහ. ජේසන් හෝල්ඩර් තරගය නිමා කළේ දැවැන්ත හයේ පහරකිනි.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් අෂේන් බණ්ඩාර (නොදැවී 55) සහ වනිඳු හසරංග (නොදැවී 80) ගොඩනැංවූ අගනා සම්බන්ධතාව හේතුවෙන් ඕවර 50 අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 274 ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා ඉනිමේ හයවැනි සහ අටවැනි පිතිකරුවන් ලෙස පිටියට පිවිසි අෂේන් සහ වනිඳු, හත්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 109 කදී ලකුණු 123 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගූහ. පන්දු 60 කට මුහුණදුන් වනිඳු හයේ පහර 3 කින් සහ හතරේ පහර 7 කින් සිය මංගල එක්දින අර්ධ ශතකය සැරසූ අතර පන්දු 74 කදී වාර්තා වූ අෂේන්ගේ දෙවැනි එක්දින අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය.

කොදෙව් පිල ලබාගත් මෙම 3-0 තරගාවලි ජය, මාස 13 කි ඉහතදී ශ්‍රී ලංකාවේදී ලද 3-0 ක තරගාවලි පරාජයට දුන් කදිම පිළිතුරක් විය.

- 036


අදහස් (0)

මාස 13 කට පසු කොදෙව්වෝ වාඩුව ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.