බොක්සිං දින ටෙස්ට් තරගය නැරඹීමට මෙල්බර්න් පිටියට නරඹන්නන් 25,000 ක්
කොරෝනා වයිරසයේ බලපෑමෙන් පසුව පැවැත්වෙන ලොව ප්‍රබලතම ටෙස්ට් තරගාවලියේ වැදගත්ම තරගය සඳහා මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණය තෝරා ගනු ලැබ ඇත. ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන මෙම තරගය නැරඹීමට ප්‍රේක්‍ෂකයන් 25,000 කට අවස්ථාව සැලසෙන බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් මණ්ඩලය කියයි.
මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණය හෙවත් එම්.සී.ජී. හි ප්‍රේක්‍ෂක ධාරිතාව 100,000 කි එහෙත් සමාජ දුරස්ථකරණය හේතුවෙන් තරගය නැරඹීම ප්‍රේක්‍ෂකයන් 25,000 කට පමණක් සීමා කර තිබේ.
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරග 4 ක් පැවැත්වෙන බව ඕස්ට්‍රේලියාව අද (28 වැනිදා) නිවේදනය කළේය. එම තරග ඇඩිලේඞ්, මෙල්බර්න්, සිඞ්නි සහ බ්‍රිස්බේන් යන නගර වලදී පැවැත්වේ. ඕස්ට්‍රේලියාවේ දෙවැනි විශාලතම නගරය වන මෙල්බර්න් නගරය මාස ගණනක් තිස්සේ වසාදමා ඇති නමුත් දෙසැම්බර් 26 වැනිදා මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගයට අවසර ලබාදී තිබේ.
“ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව ලෝක ක්‍රීඩාවේ දැවැන්ත එදිරිවාදියෝ. මේ ගිම්හානයේදී විරාට් කෝලි ඇතුළු ඉන්දීය කණ්ඩායම ඕස්ට්‍රේලියාවට පිළිගැනීමට ලැබීම සතුටට කරුණක්” යැයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධානී නික් හොක්ලි මහතා පැවසීය.
නිරෝධායන අවශ්‍යතා හා මෙල්බර්න් නුවර වයිරසය පැතිර යාමේ තත්ත්වය නිසා සංචාරයේ සවිස්තරාත්මක සැලසුම් තහවුරු කිරීම ප්‍රමාද වී තිබේ. කෙසේ වෙතත් මෙම තරගාවලිය මඟින් විශාල ආදායමක් උපයා ගැනීම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ අපේක්‍ෂාවයි. කොරෝනා වසංගතය හේතුවෙන් මේ වසරේදී ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට සත්කාරය දැරීම ඕස්ට්‍රේලියාවට අහිමි වූ අතර එය විශාල මූල්‍ය පාඩුවකි.
ඉන්දීය සංචාරයට ද එවැනිම ඉරණමක් සිදුවුවහොත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයට එය දරාගත නොහැකි මූල්‍යමය පාඩුවක් වන බැවින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ මාස ගණනක් වැඩ කරමින් මෙම තරගාවලිය පැවැත්වීමට උත්සාහ කරන බව හොක්ලි මහතා පැවසුවේය.
බෝඩර් - ගවස්කාර් කුසලාන වෙනුවෙන් පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ආරම්භ වන්නේ ඇඩිලේඞ් නුවරදී පැවැත්වෙන දිවා/රාත්‍රී ටෙස්ට් තරගයෙනි. එහි දෙවැන්න මෙල්බර්න් පිටියේදී පැවැත්වෙනු ඇත. නවසීලන්තයට, දකුණු අප්‍රිකාවට, එංගලන්තයට සහ පාකිස්තානයට එරෙහිව ඇඩිලේඞ්හිදී පැවැති දිවා/රාත්‍රී ටෙස්ට් තරග 4 ම ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කර තිබේ. ඕස්ට්‍රේලියාව මෙන්ම ඉන්දියාවද මින් පෙර දිවා - රාත්‍රී ටෙස්ට් තරගයක් පරාජයට පත්වී නොමැත.
පසුගිය වසරේ කොල්කටාහි පැවති එකම දිවා රාත්‍රී තරඟයේදී ඉන්දියාව විසින් බංග්ලාදේශය පරාජය කරන ලදි.
ඉන්දීය කණ්ඩායම නොවැම්බර් 12 වනදා ඕස්ට්‍රේලියාවට පැමිණෙයි. නොවැම්බර් 27 වන දින පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයට පෙර නිරෝධායන සහ කොවිඞ් -19 නියමයන් සම්පූර්ණ කළ යුතුව තිබේ.
ඉන්දියානු කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරය
එක්දින ජාත්‍යන්තර තරඟාවලිය
නොවැම්බර් 27 - 1 වන එක්දින තරගය (සිඞ්නි, දිවා-රාත්‍රී)
නොවැම්බර් 29 - 2 වන එක්දින තරගය (සිඞ්නි, දිවා-රාත්‍රී)
දෙසැම්බර් 2 - 3 වන එක්දින තරගය (කැන්බරා, දිවා-රාත්‍රී)
විස්සයි20 ජාත්‍යන්තර තරඟාවලිය
දෙසැම්බර් 4 - 1 වන විස්සයි20 තරගය (කැන්බරා, රාත්‍රී)
දෙසැම්බර් 6 - 2 වන විස්සයි20 තරගය (සිඞ්නි, රාත්‍රී)
දෙසැම්බර් 8 - 3 වන විස්සයි20 තරගය (සිඞ්නි, රාත්‍රී)
බෝඩර්-ගවස්කාර් කුසලාන ටෙස්ට් තරඟාවලිය
දෙසැම්බර් 17 සිට 21 දක්වා - 1 වන ටෙස්ට් තරගය (ඇඩිලේඞ් ඕවල්, දිවා රාත්‍රී)
දෙසැම්බර් 26 සිට 30 දක්වා - 2 වන ටෙස්ට් තරගය (මෙල්බර්න්)
ජනවාරි 7 සිට 11 දක්වා - 3 වන ටෙස්ට් තරගය (සිඞ්නි)
ජනවාරි 15 සිට 19 දක්වා - 4 වන ටෙස්ට් තරගය (බ්‍රිස්බේන් )