Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බැංගලෝර් පිලට ලකුණක තියුණු ජයක්

බැංගලෝර් පිලට ලකුණක තියුණු ජයක්

editorial - 2021 අප්‍රේ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 22 වැනි තරගය ලෙස දිල්ලි කැපිටල්ස් කණ්ඩායම කණ්ඩායමට එරෙහිව අද (27 වැනිදා) අහමදාබාද්හිදී පැවැති තරගයෙන් ලකුණක තියුණු ජයක් අත්කර ගැනීමට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් විය. ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවූ බැංගලෝර් කණ්ඩායම, මෙම ජයග්‍රහණයත් සමග යළිත් වරක් එහි පෙරමුණට පැමිණියේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 172 ක ඉලක්යක් හඹාගිය දිල්ලි කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 170 ක් පමණි. තරගය ජයගැනීමට දිල්ලි කණ්ඩායමට අවසන් පන්දු දෙකේදී ලකුණු 10 ක් රැස්කිරීමට සිදුවුවද, ඒ වන විට පන්දුවට පහර දෙමින් සිටි රිෂාබ් පාන්ට්ට එහිදී හතරේ පහර 2 ක් සමග ලබාගත හැකි වූයේ ලකුණු 8 ක් පමණි.

නායක රිෂාබ් පාන්ට් (නොදැවී 58) සහ ශිම්රන් හැට්මෙයර් (නොදැවී 53) එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 44 කදී 78 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගුවද ඔවුන්ට සිට කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි වූහ. පන්දු 48 කදී වාර්තා වූ පාන්ට්ගේ අර්ධ ශතකයට හතරේ පහර 6 ක් ඇතුළත් වූ අතර පන්දු 25 කදී වාර්තා වූ හැටේමෙයර්ගේ අර්ධ ශතකය හයේ පහර 4 කින් සහ හතරේ පහර 2 කින් සමන්විත විය.

පළමුවෙන් පන්දු පහරදුන් බැංගලෝර් කණ්ඩායම ඒ.බී. ඩිවිලියස්ගේ වේගවත් පිතිහරඹය හේතුවෙන් ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 171 ක් ලබාගත්තේය. ඕවර 18 ක් අවසානයේ ලකුණු 139 කට කඩුලු 5 ක් බිඳවැටී තිබූ බැංගලෝර් ඉනිම ඕවර 20 අවසන් වන විට ලකුණු 171 ක් දක්වා ඔසවා තැබීමට ඩිවිලියස් සමත් විය. එහිදී පන්දු 42 කට මුහුණදුන් ඩිවිලියස් එහිදී වේගවත් ලකුණු 75 රැස්කරමින් බැංගලෝර් ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි අතර ඔහුගේ අර්ධ ශතකයට හයේ පහර 5 ක් සහ හතරේ පහර 3 ක් අන්තර්ගත විය.

කාසියේ වාසිය දිනූ දිල්ලි කණ්ඩායමේ නායක රිෂාබ් පාන්ට් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා බැංගලෝර් කණ්ඩායමට ආරධනා කළ අතර මුලු ලකුණු සංඛ්‍යාව 30 ක් වන විට නායක විරාට් කෝලි (12) සහ දෙව්දූත් පඩික්කල් (17) ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට අවේෂ් ඛාන් සහ ඉෂාන්ත් ශර්මා සමත් වූහ.

කෙසේ වුවත් මෙම තරගයේදී කණ්ඩායමට ඇතුළත් වූ රජත් පටීදාර් පන්දු 22 කදී හයේ පහර 2 ක් සමග ලකුණු 31 ක් රැස්කරමින් බැංගලෝර් ඉනිමට නව ජවයක් එක් කළේය. ග්ලේන් මැක්ස්වෙල්ගේ (25) දැවී යෑමෙන් අනතරුව ඩිවිලියස් සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 38 කදී ලකුණු 54 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද පටීදාර් සමත් විය.
 
තරගාවලියෙන් ඉවත්ව ගිය දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අෂ්වින් වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක ඉෂාන්ත් ශර්මා මෙම තරගයේදී දිල්ලි කණ්ඩායමට ඇතුළත් විය. බැංගලෝර් කණ්ඩායම වෙනස්කම් දෙකක් සමගින් මෙම තරගයට සහභාගි වූ අතර නව්දීප් සයිනි වෙනුවට රජත් පටීදාර්ද, ඩැනියෙල් ක්‍රිස්ටියන් වෙනුවට ඩැනියෙල් සෑම්ස්ද එහිදී බැංගලෝර් කණ්ඩායමට එක්ව සිටියහ.

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල - ඕවර 20 කදී කඩුලු 5 කට 171
(විරාට් කෝලි 12, දෙව්දූත් පඩික්කල් 17, රජත් පටීදාර් 31, ග්ලේන් මැක්ස්වෙල් 25, ඒ.බී. ඩිවිලියස් නොදැවී 75)

දිල්ලි කැපිටල්ස් පිල - ඕවර 20 කදී කඩුලු 4 කට 170
(ප්‍රිත්වි ෂෝ 21, රිෂාබ් පාන්ට් නොදැවී 58, ශිම්රන් හැට්මෙයර් නොදැවී 53, හර්ෂාල් පතෙල් 37/2)

-036


අදහස් (0)

බැංගලෝර් පිලට ලකුණක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.