ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී අද (19 වැනිදා) පැවැති විශේෂ මහ සභා රැස්වීමේදී ක්‍රිකට් නිලවරණය මෙහෙයවීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත්කරගන්නා ලදි. රසික වීරතුංග, සනත් උත්පල, බුද්ධික ඉලංගතිලක, ජූඞ් පෙරේරා සහ දේවගිරි බණ්ඩාර යන මහත්වරු පංච පුද්ගල නිලවරණ කමිටුවට ඇතුළත් වෙති.
එම විශේෂ මහ සභා රැස්වීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා කියා සිටියේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය යටතේ ක්‍රිකට් ආයතනයේ වාර්ෂික මහ සභා රැස්වීම සහ නිලවරණය මේ මස 31 වැනිදාට යොදාගත් බවයි. තෝරාගත් නිලවරණ කමිටුව සම්බන්ධයෙන් අදහස් දැක්වූ සුමතිපාල මහතා මෙසේද පැවසීය.
“රසික වීරතුංග මහතා නීතීඥවරයෙක්, සනත් උත්පල මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවේ කොමදෝරුවරයෙක්, බුද්ධික ඉලංගතිලක මහතා නීතීඥවරයෙක්, ජූඞ් පෙරේරා මහතා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතවරයෙක්, දේවගිරි බණ්ඩාර මහතා භාරකාර මණ්ඩලයේ හිටපු නිලධාරීයෙක්.”
“අපි අද මේ අයව පත්කර ගත්තේ මහ සභාවේ සියලුම සාමාජිකයන්ගේ ඒකමතික කැමැත්තෙන්. කිසිම කෙනෙක් ඒ අයගේ පත්වීම්වලට විරුද්ධ වුණේ නෑ. ඒ අයවම තමයි අපි කලින් තෝරලා අපේ සාමාජිකයන්ව දැනුවත් කළේ. ඒ නිසා ඒ අයව නැවතත් පත්කර ගැනීමට හැකිවීම ගැන අපි හුගක් සතුටු වෙනවා.” යැයිද සුමතිපාල මහතා පවසා සිටියේය.
නිලවරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සුමතිපාල මහතා කියා සිටියේ ලේකම්වරයා හැරුණු කොට තමා ඇතුළු දැනට ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ තනතුරු දරන නිලධාරීන් සියලු දෙනාම නැවතත් එම තනතුරු සඳහා තරග වැදීමට සූදානමින් සිටින බවයි.
“මම ඇතුළු මගේ කණ්ඩායම නැවත වරක් නිලවරණයට ඉදිරිපත් වෙනවා. මේ වෙනකොට අපි නාමයෝජනා බාරදීලායි තියෙන්නේ. නමුත් අපිත් එක්ක තරග වදින්න එන අනෙක් අපේක්ෂකයන් කවුද කියන එක ගැන නම් අපි තවමත් හරියටම දන්නේ නැහැ. ඒක දැනගන්න වෙන්නේ නාම යෝජනා විවෘත කළාට පසුවයි.”
“අපේ දැනට සිටින ලේකම්වරයා ගුවන් හමුදා නිලධාරීයෙක්. මේ වෙනකොට ඔහුට උසස්වීමක් ලැබිලා තියෙනවා. ඒ නිසා ඔහු මෙවර නිලවරණයට ඉදිරිපත්වෙන්නේ නෑ. ඔහු වෙනුවට අපි ලේකම් තනතුර සඳහා අපේ පාර්ශවයෙන් අපේක්ෂකයන් තුනදෙනෙකුගේ නම් ඉදිරිපත් කරලා තියෙනවා.” යැයිද එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
සුමතිපාල මහතාගේ පාර්ශවය නියෝජනය කරමින් ලේකම් ධූරය සඳහා තිදෙනකු නාම යෝජනා ඉදිරිපත්කර ඇතත් ඒ කවුරුන්ද යන්න හෙළිදරව් නොකිරීමට ක්‍රිකට් සභාපතිවරයා පරෙස්සම් විය. එහෙත් ශම්මි සිල්වා, බන්දුල දිසානායක, අරුණ ද සිල්වා සහ රවීන් වික්‍රමරත්න යන සිවුදෙනාගෙන් තිදෙනකුගේ නම් ලේකම් තනතුර සඳහා ඉදිරිපත් කර ඇතැයිද, නිලවරණයේ පවතින වාතාවරණය අනුව ඡන්දයට ඉදිරිපත්වන තැනැත්තා තීරණය වනු ඇතැයිද අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
එහිදී නිලවරණයේ ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සුමතිපාල මහතා කියා සිටියේ ජයග්‍රහණය සම්බන්ධයෙන් තමාට කිසිදු සැකයක් නැති බවත්, තමා ඇතුළු කණ්ඩායම නිලවරණයේදී නිතරග ජයක් ලබන බවත්ය.
“අපි මේ ක්‍රිකට් පරිපාලනයේ ඉන්නේ අවුරුදු ගණනාවක ඉඳලා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුයුක්තව ක්‍රීඩා සමාජ 84 ක් තියෙනවා. අතරින් 64 ක්ම සභාපති ධූරය සඳහා මගේ නම යෝජනා කරලා තියෙනවා. ඉතින් ඒකෙන්ම පෙනේවා අපිට බහුතර කැමැත්තක් තියෙනවා කියලා. අනිත් අයත් අපිට කිසිම විරෝධතාවක් ඉදිරිපත් කරලා නැහැ. ඒ නිසා අපි හිතනවා අපේ කණ්ඩායමට ඒ අයගේ විශාල කැමැත්තක් තියෙනවා කියලා” යැයිද සුමතිපාල මහතා පැවසීය.
මේ මස 31 වැනිදා නිලවරණය පැවැත්වීම අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිත ‘ලන්කන් ප්‍රිමියර් ලීග්’ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සංවිධාන කටයුතු වලට බාධාවක් වේවි දැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින් සුමතිපාල මහතා මෙසේ පැවසීය.
“නිලවරණය නිසා අපි ටිකක් කාර්ය බහුල වෙනවා තමයි. නමුත් ඒක ලන්කන් ප්‍රිමියර් ලීග් එකට බාධාවක් වෙන්නේ නෑ. මොකද මේ වෙනකොටත් ඒකේ වැඩ ගොඩක් ඉවරයි. කණ්ඩායම් 6 ක් තරගාවලියට සහභාගි කරවන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි දැනටමත් තරගාවලිය සඳහා දින නියම කරලා ඉවරයි.”
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.