Last Update  :  2025-08-17 19:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නුවන් කුලසේකර සමුගනී

නුවන් කුලසේකර සමුගනී

යොහාන් භාසුර - 2019 ජුලි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියාවේ තමන් ක්‍රීඩා කරමින් සිටින බව තේරීම් කමිටු සභාපතිවරයා නොදන්නවා වුවද සෙසු බොහෝ දෙනකු ඒ පිළිබඳව දැනුවත්ව සිටි බව වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර අද (24) පැවසීය.

අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීම නිලවශයෙන් නිවේදනය කිරීම වෙනුවෙන් කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී ඊයේ පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී කුලසේකර වැඩි දුරටත් මෙසේ පැවසීය.

“මම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සමුගැනීමේ තරගයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කළා. නමුත් එයට කිසිදු ප්‍රතිචාරයක් ලැබුණෙ නෑ. ඒ නිසා මම හිතුවා සමුගැනීම ප්‍රකාශ කරන්න මේක අවස්ථාව කියලා”
“මාලිංගගේ ප්‍රකාශයත් සමඟ තමයි මම ඉල්ලීමක් කරන්න හිතුවේ. මම හිතුවේ මාලිංග සමුගන්නා තරගයේදීම සමුගන්න ලැබෙයි කියලයි. බංග්ලාදේශ තරගාවලියට සංචිතයක් නම් කරලා තියෙනවා. ඒකට මම ඇතුළත්ව නෑ. ඒ කියන්නේ මට තරගයක් ලැබෙන්නේ නෑ කියන එකනේ”

“මාලිංග සමඟ වසර 10 ක් විතර ක්‍රීඩා කළා. ඔහු රටට ලොකු සේවයක් කළ ක්‍රීඩකයෙක්. ඔහු හෙට තරගයේදී එක්දින පිටියෙන් සමුගන්නවා. ඒ තරගයට මමත් එනවා. සියලු දෙනාම මම ආරාධනා කරනවා තරගය නරඹන්න ඇවිත් ඔහුට ගෞරවය දක්වන්න”

නුවන් කුලසේකරට ද සමුගැනීමේ තරගයක් ලබාදෙන ලෙස තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කරන බව ලසිත් මාලිංග පසුගියදා එංගලන්තයේදී පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී පැවසීම මෙම සිද්ධියට ප්‍රධාන විය.

කුලසේකර තම සමුගැනීම සහ ක්‍රිකට් දිවිය පිළිබඳව මෙසේ අදහස් දැක්වීය.  

“සමුගැනීම ගැන කිසිම කණගාටුවක් නෑ. මම මගේ රටට කරපු දේවල් මම දන්වා. මාලිංග කළ ඉල්ලීමෙන් තමයි මම නැවත කරළියට ආවේ. මම එම ඉල්ලීම ගැන මාලිංගට ස්තූතිය පළ කරනවා”

“මම 2007 වසරේ සිට 2017 වසර දක්වා මගේ රට නියෝජනය කළා. එක්දින ලෝක කුසලාන තරගාවලි දෙකකට සහ විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය තුනකට ක්‍රීඩා කළා. 2014 වසරේ විස්සයි20 ලෝක ශූර කණ්ඩායමත් නියෝජන කළා”

තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා නුවන් කුලසේකර පිළිබඳව නොදන්නා සේ හඟවමින් කළ ප්‍රකාශය පිළිබඳව කළ විමසුමේදී ඔහු මෙසේ අදහස් දැක්වීය.

“තේරීම් කමිටු සභාපතිවරයා නොදන්නවා වුණාට මම ඕස්ට්‍රේලියාවේදී ක්‍රීඩා කරනවා කියලා සෙසු අය දන්නවා”

“මම 2017 වසරේ ජූලි මාසයෙන් පසුව ජාතික කණ්ඩායම නියෝජනය කරලා නෑ. ඉන් පසුව මාව අන්තර් පළාත් තරගාවලියටවත් තෝරාගත්තේ නෑ. ඒ නිසා මම ඕස්ටේ්‍රලියාවේ තරගාවලි කීපයකට සහභාගි වුණා. අප්‍රේල් මාසේ නැවත ලංකාවට ආවේ”

“මම ලෝක එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ හිමිකරගනෙ සිටියා. ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන්නකුට නැවත ඒ තැනට එන්න වාසනාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා”

“ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී 2006 වසරේ වාස් අයියයි මායි සම්බන්ධයක් පවත්වලා ටෙස්ට් තරගය බේරාගත් එක මගේ ක්‍රිකට් ජීවිතයෙන් අමතක වෙන්නෙ නෑ. එහිදී මම රැස්කළ අර්ධ ශතකය මගේ මතකයේ තියෙනවා. ඒ වගේම 2014 වසරේ බංග්ලාදේශයේදී විස්සයි20 ලෝක ශූරයන් වීම ද අමතක නොවන අවස්ථාවක්” යැයි කුලසේකර වැඩි දුරටත් පැවසීය.

මෙහිදී කුලසේකර තම ක්‍රීඩා දිවියට සහය දැක්වූ සියලුම දෙනාට ස්තූතිය පළ කළේය.

 


අදහස් (0)

නුවන් කුලසේකර සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.