Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නජ්මුල් ශ්‍රී ලංකාවේ සැලසුම් අවුල් කරයි

නජ්මුල් ශ්‍රී ලංකාවේ සැලසුම් අවුල් කරයි

දමින්ද විජේසූරිය - 2021 අප්‍රේ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ඕවර දෙකක් හැරෙන්නට අද දිනයේ යැවුණු ඕවර 90 දීම සිය කඩුල්ල ආරක්‍ෂා කරගත් නජ්මුල් හොසේන්ගේ පිතිහරඹය නිසා මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය වූ අද (21 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට බංග්ලාදේශ කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 302 ක් ලබා සිටියේය. දිවා ආහාරයට පෙර සිටම සිය පන්දු යවන්නන් හය දෙනාම භාවිතා කළ නමුත් තණතීරුවේ සහාය වැඩියෙන් ලැබුණේ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්නට වඩා බංග්ලාදේශ පිතිකරුවන්ටය. 

ලකුණු 140 ඉක්මවා ගිය ශතක සම්බන්ධතා දෙකකින් සවිමත් වූ බංග්ලාදේශ ඉනිම නඟා සිටවූ කුළුණ වූයේ නජ්මුල් හොසේන්ගේ පිතිහරඹයයි. පැය හය හමාරක පමණ (විනාඩි 381 ක් ) වෙහෙසකර ඉනිමක් ක්‍රීඩා කළ හොසේන්ට ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල්ගෙන් මෙන්ම නායක මොමිනුල් හක් ගෙන්ද අගනා සහයෝගයක් ලැබිණ. 

වේග පන්දු යවන්නන් තිදෙනකු කණ්ඩායමට ඇතුළත් කරමින්, තණකොළ සපිරි තණතීරුවක් සකස් කළ නමුත්, ශ්‍රී ලංකා කණ්ඩායමේ සැලසුම් සියල්ලම අවුල් කරදැමීමට නජ්මුල් හොසේන් සමත් වූයේය. 

කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ නායකයා කිසිදු පැකිළීමකින් තොරවම පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තද බංග්ලාදේශයට ලැබුණේ භයංකාර ආරම්භයකි. දෙවැනි ඕවරයේදීම යසිෆ් හසන් දවාගත් වමත් වේග පන්දු යවන්නා වන විශ්ව ප්‍රනාන්දු ශ්‍රී ලංකා පිලට බලාපොරොත්තු එක්කළේය. එහෙත් එයින් නොසැළුණු පළපුරුදු වමත් පිතිකරුවකු වූ ටමීම් ඉක්බාල් ඕවරයකට ලකුණු 4.00 තරම වේගයක් පවත්වා ගනිමින් ලකුණු රැස්කිරීමේ යෙදුණේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට නැවතත් තරගයට අවතීර්ණ වීමේ සියලු අවස්ථා අහුරා දමමිනි. 

ටමීම් ලකුණු හඹා යන අතරේ නිසොල්මනේ තම පිතිහරඹය කළ නජ්මුල් හොසේන් දවාගැනීමේ අවස්ථාවක් ද ශ්‍රී ලංකා පිලට තිබිණ. ධනංජය ද සිල්වාගේ පන්දුවක් හොසේන්ගේ පිත්තේ පිටත දාරයේ වැදී හතරේ සීමාව කරා ඇදී ගියේ කඩුලු රකින්නා වූ නිරෝෂන් දික්වැල්ලගේ දෑත් අතරිනි. 

දිවා ආහාරයෙන් පසුව ශතකය පෙනි පෙනී සිටි ටමීම් ඉක්බාල් දැවී ගියේය හෝරා 3 ක් තිස්සේ පන්දු 101 කට මුහුණ දීමෙන් පසුවය. ඒවායින් 15 ක් හතරේ සීමාවට ඇදී ගොස් තිබිණ. 

ටමීම්ගේ දැවී යාමෙන් පසුව, අත දිගහැර ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට පහර දුන් නජ්මුල්, සිය පන්දු 235 කින් මංගල ටෙස්ට් ශතකය ලබාගත්තේය. හතරේ පහර 12 ක් සහ ‘ඉන්සයිඩ් අවුට්’ පහරකින් ලබාගත් ලකුණු 6 ක් ද ඊට ඇතුළත් විය. 

නායක මොමිනුල්ට වඩා ඉදිරියෙන් සිටිමින් ලකුණු හඹාගිය නජ්මුල් සහ නායකයා දිනය අවසන් වන විට ලකුණු 150 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනංවා තිබිණ. 

දැනට රටේ පවත්නා තත්ත්වය අනුව, සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත, මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණය නරඹන්නන්ගෙන් තොරව තරගය පැවැත්වේ. අද තරගයේ දෙවැනි දිනයයි. 

තරගය පෙරවරු 10.00 ට ආරම්භ වීමට නියමිතය.


අදහස් (0)

නජ්මුල් ශ්‍රී ලංකාවේ සැලසුම් අවුල් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.