Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජෝ රූට් ඉතිහාසය ලියයි

ජෝ රූට් ඉතිහාසය ලියයි

editorial - 2021 පෙබ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 144 ක ටෙස්ට් ඉතිහාසයේ තම 100 වැනි තරගයේදී ද්විත්ව ශතකයක් ලබාගත් ලෝකයේ පළමු වැනි ක්‍රීඩකයා බවට පත්වූ ජෝ රූට්ගේ අති විශිෂ්ට ඉනිම නිසා චෙන්නායි නුවරදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (6 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට එංගලන්ත කණ්ඩායම තරගයේ ග්‍රහණය සම්පූර්ණයෙන්ම නතු කරගෙන සිටියේය. චෙන්නායිහි එම්. ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණf්දී පුරා දින දෙකක් තිස්සේ ඕවර 180 කට මුහුණ දුන් එංගලන්ත පිතිකරුවෝ අද සවස ක්‍රීඩාව නතර කරන විට කඩුලු 8 ක් දැවී ලකුණු 555 ක් ලබා සිටියහ.

දිනය අවසන් වන විට ඩෙම් බෙස් (නොදැවී 28) සහ ජැක් ලීච් (නොදැවී 6) පන්දුවට පහර දෙමින් සිටියහ.

මෙම ද්විත්ව ශතකය ජෝ රූට්ගේ පස්වැනි ද්විත්ව ශතකය වන අතර තරග තුනකදී ලබාගත් දෙවැනි ද්විත්ව ශතකයද වෙයි. පළමු දිනය අවසානයේදී පාදයේ මස්පිඬු පෙරලීමකට මුහුණ දුන් රූට්, අද පෙරවරුවේදී සුපුරුදු පරිදි ඉනිම ආරම්භ කරමින් කඩුලු 3 කට ලකුණු 263 සිට එංගලන්ත ඉනිම ඉදිරියට ගෙන ගියේය.

පැය 9 කට ආසන්න කාලයක් තිස්සේ පිතිහරඹය කළ ජෝ රූට්ට අභියෝග කළ හැකිවූයේ ලැබුණත් එකයි - නැතත් එකයි ආකාරයේ ඉල්ලීම් දෙකකින් පමණි. ඒ හැරෙන්නට තම ඉනිම පුරාම දැවැන්තයකු සේ නොසැළී සිටි එංගලන්ත නයකයා, පන්දු 377 කට මුහුණ දෙමින් හතරේ පහර 19 කින් සහ හයේ පහර 2 කින් ඉන්දීය පන්දු යවන්නන්ට සංග්‍රහ කළේය.

අද උදෑසන ජෝ රූට් සමගින් පිටියට පිවිසි බෙන් ස්ටෝක්ස් ඉන්දීය පන්දු යවන්නන් සමග සෙල්ලම් කරන්නට විය. මාස 5 කට පසුව සිය පළමු ටෙස්ට් තරගයට සහභාගි වූ ස්ටෝක්ස්, හතරේ පහර 10 කින් සහ හයේ පහර 3 කින් සංග්‍රහ කරමින් පන්දු 118 කදී ලකුණු 82 ක් රැස්කළේය. ස්ටෝක්ස්ට රිසි පරිදි පන්දු යවන්නන්ගේ ගණන් බස්සන්නට ඉඩ දුන් ජෝ රූට්, තමන්ගේ සුපුරුදු නිස්කලංක පිතිහරඹය කරගෙන ගියේය.

“එක අතකට එහා එහා පැත්තේ ඉන්දැද්දී, ඒ වගේ නිස්කලංක පිතිහරඹයක යෙදෙමින් ඉන්දැද්දි, මගේ වැඩ ගැන ටිකක් බයකුත් ආවා... අපේ කෙනෙක්ගෙන් (ආසියානු කලාපයේදී) මේ වගේ පිතිහරඹයක් අපි නම් දැකලා නෑ.. ” යයිද බෙන් ස්ටෝක්ස් පසුව පැවසීය.

ඕවර දෙකකදී ස්ටෝක්ස්ගෙන් ලැබුණු උඩපන්දු දෙකක් ගිළිහී යාම ඉන්දීය පිලට මහත් අලාභයක් විය. ස්ටෝක්ස් වැඩ ඇල්ලූවේ පළපුරුදු පිට දඟ පන්දු යවන්නා වන රවිචන්ද්‍රන් අශ්වින්ගේ හිසට ඉහළින් ගැසූ අලංකාර හයේ පහරකිනි. පිතිකරුවන් දෙදෙනාගෙන් එකකු කොයියම් ආකාරයකින් හෝ දවාගැනීමට ඉන්දිය පන්දු යවන්නන් දැරූ උත්සාහය නිසා පිට පිටම විතීවි අවස්ථා දෙකක් ලබාගත්තද ඒ ඉල්ලීම් දෙකම අපතේ ගියේය.

ජෝ රූට් සිය පස්වැනි ද්විත්ව ශතකය ලබාගත්තේ රවිචන්ද්‍රන් අශ්වින්ට ගැසූ අලංකාර හයේ පහරකිනි. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නිර්මාතෘවරුන් වන එංගලන්තය වෙනුවෙන් වැඩිම ද්විත්ව ශතක ලබා ඇත්තේ වොලී හැමන්ඩ් විසිනි. ඒ ද්විත්ව ශතක 7 කි. එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් ද්විත්ව ශතක ලබාගැනීම අනුව ජෝ රූට්ට ඉදිරියෙන් ඉන්නේ වොලී හැමන්ඩ් පමණි.

දිනයේ අවසානය ආසන්න වෙද්දී ඉෂාන්ත් ෂර්මා පිට පිටම පන්දු දෙකකින් ජොස් බට්ලර් සහ ජොෆ්රා ආචර් දවාගත් නමුත් ජැක් ලීච් ඔහුට කඩුලු ත්‍රිත්වය අහිමි කළේය. කෙසේ වෙතත් ඉන්දීය පන්දු යවන්නෝ තමන්ට කඩුලු දවාගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් විවිධ ආකාරයේ නිදහසට කරුණු ඉදිරිපත් කළහ.


එංගලන්තය පළමු ඉනිම - කඩුලු 8 ක් දැවී 555 යි
(ජෝ බර්න්ස් 33, ඩොමිනික් සිබ්ලි 87, ජෝ රූට් 218, බෙන් ස්ටෝක්ස් 82, ඔලී පෝප් 34, ජොස් බට්ලර් 30, ඩොමිනික් බෙස් නොදැවී 28, ජස්ප්‍රීට් බුම්රා 81/2, ඉෂාන්ත් ෂර්මා 52/2, රවිචන්ද්‍රන් අශ්වින් 132/2, ෂබාස් නඩීම් 167/2)


- 213

 


අදහස් (0)

ජෝ රූට් ඉතිහාසය ලියයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.