Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket චමරි දුර ඉලක්කයක් අල්ලයි

චමරි දුර ඉලක්කයක් අල්ලයි

editorial - 2024 අප්‍රේ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

මේ වසරේදී පැවැත්වෙන විස්සයි-20 (කාන්තා) ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් සුදුසුකම් ලබා නැතත්, තම කණ්ඩායම ඊට සුදුසුකම් ලබාගතහොත්, යා යුතු දුර සම්බන්ධයෙන් නායිකා චමරි අතපත්තුට පැහැදිළි ඉලක්කයක් තිබේ. 

“මගේ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ සිටිනවා දැකීම මට අවශ්‍යයි” යයි අපරාජිත දකුණු අප්‍රිකානු සංචාරය නිමා කරමින් චමරි අතපත්තු පැවසුවාය. දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තුන්වැනි එක්දින තරගයෙන් කඩුලු 6 ක ජයක් ලබා ගැනීමෙන් පසුව පැවැති පුවත් පත් සාකච්ඡාවකදී ඇය එසේ කීවාය. 

“පසුගිය වසර 15 තුළ මම බොහෝ වෙහෙස මහන්සි වී කටයුතු කළා. ක්‍රීඩකාවක ලෙසින් මම යම් යම් දේවල් ලබාගත්තා. නමුත් නායිකාවක ලෙසින් මට තවත් බොහෝ දේ කිරීමට අවශ්‍යයි...”

“ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේදී මගේ කණ්ඩායමත් ඉන්නවා දැකීම මගේ අවශ්‍යතාවයි. ඒක මගේ ප්‍රාර්ථනාවයි” යයි ද චමරි අතපත්තු පොචෙස්ට්‍රෝම් නුවරදී පැවසුවාය. 

බදාදා පැවැති එක්දින තරගයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව නොදැවී ලකුණු 195 ක් ලබා ගැනීමෙන් පසු අතපත්තු එවැනි කතාවක් කීම සාධාරණය. ඇය කාන්තා එක්දින පිටියේ තුන්වැනි ඉහළම පුද්ගලික ලකුණු සංඛ්‍යාවේ හිමිකාරිණියයි. ඇරත් චමරි අතපත්තු යනු ඕනෑම අවස්ථාවකදී තනි අතින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන යාමේ හැකියාව ඇති ක්‍රීඩිකාවකි. 

වසර 15 ක පමණ කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන අතපත්තු, ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින අන්තර්ජාතික තරග 100 ක් සහ විස්සයි-20 අන්තර්ජාතික තරග 100 ක් ක්‍රීඩාකළ එකම ක්‍රීඩිකාවද වන්නීය. 

කෙසේ වෙතත් මේ වසරේදී බංග්ලාදේශයේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය වෙත හැරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සිදුව තිබේ. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එහි සුදුසුකම් ලැබීමේ වටයට පිවිසෙන්නේ ‘බහුතර බලාපොරොත්තුව’ ලෙසිනි. ඊට හේතුව ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට සහභාගි වූ වි-20 අන්තර්ජාතික තරග 15 කින් තරග 9 ක් ජයගෙන ඇති බැවිනි. දකුණු අප්‍රිකානු සංචාරයෙන් පසුව විස්සයි-20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඩුබායි නුවර බලා පිටත්ව යයි. 

පසුගිය මාස 12 ඇතුළත, බංග්ලාදේශයට එරෙහිවත්, එංගලන්තයේදී සහ දකුණු අප්‍රිකාවේදීත් පැවති විස්සයි-20 අන්තර්ජාතික තරඟාවලි ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය. ආසියානු ක්‍රීඩා උළෙලේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාගැනීමටත් සමත් වූ ශ්‍රී ලංකා කාන්තාවෝ බංග්ලාදේශයට සහ නවසීලන්තයට එරෙහිව එක්දින තරගාවලි ද ජයග්‍රහණය කර තිබේ. 

ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාව, තායිලන්තය, ස්කොට්ලන්තය, උගණ්ඩාව සහ ඇමරිකා එක්සත් ජනපදය ‘ඒ’ කාණ්ඩයෙන් තරග කරති. අයර්ලන්තය, සිම්බාබ්වේ, නෙදර්ලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ වනුවාටු  ‘බී’ කාණ්ඩයෙන් තරග කරති. 

එක් එක් කාණ්ඩයන්හි පළමු ස්ථාන දිනාගන්නා කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයට පිවිසෙති. අවසන් පූර්ව තරග ජයගැනීමෙන්, මැයි මස 7 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගන්නා කණ්ඩායම් දෙකම මේ වසරේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගනු ඇත. 

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය මේ වසරේ සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස වලදී බංග්ලාදේශයේදී පැවැත්වීමට නියමිතය. 


අදහස් (0)

චමරි දුර ඉලක්කයක් අල්ලයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.