කිංග්ස් XI පන්ජාබ් සටන අත නොහරී
කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව සඳුදා (26) සාජාහිදී පැවැති අයි.පී.එල්. තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් ලැබූ කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම මාසයක පමණ කාලයකින් පසුව යළිත් ප්‍රසාද ලකුණු සටහනේ පළමු කණ්ඩායම් 4 අතරට එක්වීමට සමත් විය.
සහභාගි වූ පළමු තරග දෙකම ජයගනිමින් මෙවර තරගාවලියට සාර්ථක ආරම්භයක් ලබාගත් පන්ජාබ් කණ්ඩායම ඉන් අනතරුව තරග 5 දී පිට පිටම පරාජයට පත්විය. ඔක්තෝබර් මස 15 වැනිදා බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගය ජයගනිමින් යළිත් ජය මාවතට යොමු වූ පන්ජාබ් කණ්ඩායම ඉන් අනතුරුව පිට පිටම තරග 5 ක් ජයගැනීමට සමත් විය.
ඒ අනුව මෙවර තරගාවලියේ පෙරළිකාරම කණ්ඩායම ලෙස ලොකේෂ් රාහුල් නායකත්වය දරන කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම හැඳින්විය හැකි අතර අවසන් වටය සුදුසුකම් ලබාගැනීම සඳහා ඔවුන්ට මූලික වටයේ තවත් තරග 2 ක් ඉතිරිව තිබේ. ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව (නොවැම්බර් 1 වැනිදා) සහ එහි 6 වැනි ස්ථානයේ පසුවන රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමට (ඔක්තෝබර් 30 වැනිදා) එරෙහිව එම තරග දෙක පැවැත්වීමට නියමිතය.
සඳුදා පැවැති තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 150 ක ඉලක්කයක් හඹාගිය පන්ජාබ් ක්‍රීඩකයෝ පන්දු 7 ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය සපුරාගත්හ. ආරම්භක පිතිකරු මන්දීප් සිං (නොදැවී 66) සහ ක්‍රිස් ගේල් (51) දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 61 කදී ලකුණු 100 ක සම්බන්ධතාවක් ගොඩනගමින් පන්ජාබ් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.
එහිදී පන්දු 56 කට මුහුණදුන් මන්දීප් සිං හයේ පහර 2 කින් සහ හතරේ පහර 8 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 29 කදී ලබාගත් ක්‍රිස් ගේල්ගේ වේගවත් අර්ධ ශතකය හයේ පහර 5 කින් සහ හතරේ පහර 2 කින් සමන්විත විය. නායක ලෝකේෂ් රාහුල් පන්දු 25 කදී ලකුණු 28 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි.
පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ ලකුණු 149 කට සීමා කිරීමට මොහොමඩ් සාමි ප්‍රමුඛ පන්ජාබ් පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ සාමි ලකුණු 35 කට කඩුලු 3 ක් දවාගත් අතර රවී බිෂ්නෝයි සහ ක්‍රිස් ජෝර්ඩ්න් කඩුලු 2 බැගින් බිඳහෙළූහ.
කොල්කටා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් පන්දු 45 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 57 ක් රැස්කළේය. නායක ඔයින් මෝගන් (40) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 47 කදී ලකුණු 81 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ගිල් සමත් විය. පන්දු 25 කදී වාර්තා වූ මෝගන්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය.
කොල්කටා නයිට්රයිඩර්ස් - ඕවර 20 කදී කඩුලු 9 කට 149
(ශුබ්මන් ගිල් 57, ඔයින් මෝගන් 40, ලොකී ෆර්ගියුසන් නොදැවී 24, මොහොමඩ් ශාමි 35/3, රවී බිෂ්නොයි 20/2, ක්‍රිස් ජෝර්ඩ්න් 25/2)
කිංග්ස් XI පන්ජාබ් - ඕවර 18.5 කදී කඩුලු 2 කට 150
(ලොකේෂ් රාහුල් 28, මන්දීප් සිං නොදැවී 66, ක්‍රිස් ගේල් 51)
-036
(ඡායාරූප - අයි.පී.එල්. නිල වෙබ්අඩවිය අනුග්‍රහයෙනි)