(ෂේන් සෙනෙවිරත්න)
ටී.බී. තෙන්නකෝන් අනුස්මරණ කුසලානය සඳහා ධර්මරාජ විදුහලත් කිංස්වුඩ් විදුහලත් අතර ‘සුලෝහිත සංග්‍රාමය‘ නමින් පවත්වනු ලබන සම්ප්‍රදායික මහා ක්‍රිකට් තරඟය මාර්තු මස 20, 21 සහ 22 යන දිනයන්හිදී අස්ගිරිය ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය. වසර 119 ක ඉතිහාසයක් ඇති මෙම තරගය නැවත අස්ගිරිය ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන්නේ වසර 15 කට පසුවය.
2011වසරෙන් පසු මෙම මහා ක්‍රිකට් තරඟය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයට ගෙන යන ලදි. එහෙත් මෙවර තරගය නැවතත් අස්ගිරිය ක්‍රීඩාංගනයේදී පැවැත්වීමද විශේෂත්වයකි.
කන්ද උඩරට පැරණිතම මහා ක්‍රිකට් තරඟය වශයෙන්ද ශ්‍රී ලංකාවේ දෙවැනි පැරණිතම මහා ක්‍රිකට් තරගය වශයෙන් ද සැලකෙන මෙම මහා ක්‍රිකට් තරගය ආරම්භ වී ඇත්තේ 1893 වසරේදීය. මුල් කාලයේදී මෙම මහා ක්‍රිකට් ගැටුම සඳහා විදුහල් දෙකේම විදුහල්පති වරුන් සහ ගුරු මණ්ඩලය සහභාගි වී තිබේ. පසුව විද්‍යාල දෙකේම ක්‍රිකට් ක්‍රීඩා කරන පාසල් ක්‍රීඩකයන් අතර තරගය පැවැත්වී තිබේ.
මහා ක්‍රිකට් ගැටුමේ ජයග්‍රහණ වාර්තා කිරීමේදී ධර්මරාජ විදුහල් කණ්ඩායම ජයග්‍රහණ 36 ක් වාර්තා කරමින් ඉදිරියෙන් සිටින අතර ඔවුන් අවසන් වරට 2025 වසරේදී දුලාර බන්දුලසේනගේ නායකත්වයෙන් ජය වාර්තා කර තිබේ. කිංස්වුඩ් පිල ජයග්‍රහණ 19 ක් වාර්තාකර ඇති අතර ඔවුන් අවසන් වරට මහ ක්‍රිකට් තරගයේ ජය ලබා ඇත්තේ 1958 වසරේදී මොරිස් ප්‍රනාන්දුගේ නායකත්වයෙන් යුතුවය.
මහා ක්‍රිකට් තරගයේ ඉහළම ලකුණු ලාභියා ලාභියාගේ ගෞරව හිමි කරගෙන සිටියේ ධර්මරාජ පිලේ සේනක දිසානායක විසින් 1983 වසරේදී වාර්තා කරන ලද ද්විත්ව ශතකය (200 ) වේ. එහෙත් ඉකුත් (2025) වසරේදී ධර්මරාජ පිල වෙනුවෙන් එකම ඉනිමකදී ක්‍රීඩකයන් දෙදෙනෙකු (තරිඳු වික්‍රමගේ නොදැවී ලකුණු 203 සහ ලක්රුවන් අබේසිංහ නොදැවී ලකුණු 203) ද්විත්ව ශතක වාර්තා කිරීමට සමත් වීමෙන් සේනක දිසානායකගේ වාර්තාව ඔවුන් සතු විය. කිංස්වුඩ් පිලේ ඉහළම ලකුණු ලාභියා වන්නේ 1959 වසරේ දී ක්ලිෆඩ් රත්නවිභූෂණ විසින් වාර්තා කරන ලද ලකුණු 167 යි.
ධර්මරාජ විදුහල් පිල මෙවර මෙහෙයවනු ලබන්නේ කවිඳු ගුණරත්න විසිනි. තරිඳු වර්ණකුලගේ උප නායකත්වය දරයි. කිංස්වුඩ් විදුහල් පිල මෙහෙයවනු ලබන්නේ නිකේෂල නානායක්කාර විසිනි. ආදිල් ෂෙරීෆ් උප නායකත්වය දරයි.
ධර්මරාජ විදුහල් පිල මෙවර තරග වාරයේ තරග 11 කට මුහුණ දී තරග 05 කින් පළමු ඉනිමේ ජය වාර්තා කර තිබේ. තරග 03 ක් පළමු ඉනිමේ පරාජයට පත්ව ඇති අතර තරඟ 02 ක් පරාජය වී ඇත. ඉතිරි තරග ජය පැරදුමෙන් තොරව නිමා කොට තිබේ.
කිංස්වුඩ් විදුහල් පිල මෙවර තරඟ වාරයේ තරඟ 10 කට මුහුණ දී තරග 03 කදී සම්පූර්ණ ජය වාර්තා කරමින් තරඟ 02 ක් පරාජයවී ඇත. ඉතිරි තරග ජය පැරදුමෙන් තොරව නිමා වී තිබේ.
ධර්මරාජ විදුහල වෙනුවෙන් ශෂිත් බණ්ඩාර ලකුණු 450 ක්ද, කාශ්‍යප දිසානායක ලකුණු 345 ක්ද, තරිඳු වර්ණකුලගේ ලකුණු 322 ක් වශයෙන් ලබාගනිමින් මෙම තරග වාරයේදී පිත්තෙන් දස්කම් දක්වා තිබේ. පන්දු යවන්නන් අතර ශෂිත් බණ්ඩාර (කඩුලු 33 යි), ඔනිත විතානගේ (කඩුලු17 යි), පන්දුවෙන් දස්කම් දක්වා තිබේ.
කිංස්වුඩ් විදුහල් පිල වෙනුවෙන් උපනායක ආදිල් ෂෙරීෆ් (ලකුණු 600 ක්), නායක චනුල් කොඩිතුවක්කු සහ මනූල විජේරත්න (ලකුණු 300 ඉක්මවා තිබේ) පිත්තෙන් දස්කම් දක්වා ඇත. කවීජ ගමගේ ශ්‍රී ලංකා යොවුන් පිල නියෝජනය කළ බැවින් තරඟ කීපයකට පමණක්මුහුණ දී ලකුණු 400 ක් ඉක්මව ලබාගෙන තිබේ. පන්දු යැවීමේදී කෙනුල පිහිලිඅංග (කඩුලු 50) සහ කවිජ ගමගේ (කඩුලු 30) කැපී පෙනෙන දස්කම් දක්වා තිබේ.

ධර්මරාජ විදුහල් සංචිතය
කවිඳු ගුණරත්න, තරිඳු වර්ණකුලගේ, කාශ්‍යප දිසානායක, සුමේධ ප්‍රසාද්, ඔමේශ් ඒකනායක, කේශේෂණ ගුණවර්ධන, ගවේෂ් පූර්ණ, ජයෝද්‍ය කඩිගාව, මලීෂ ගුණසේකර, චානුක ලක්ෂාන්, ජනුත් ජයසිංහආරච්චි, මන්දිල් ගුණවර්ධන, ශෂිත් බණ්ඩාර, මෙත්සිලු බණ්ඩාර, තෙවිඳු හේරත්, ඔනිත විතානගේ, ඉසුරු සමරතුංග, ලහිරු නිල්වක්ක, දිනෙත් අබේරත්න, සහ තිනුක රාජපක්ෂ

කිංස්වුඩ් විදුහල් සංචිතය
නිකේශල නානායක්කාර (නායක), ආදිල් ෂෙරීෆ් (උපනායක) කවිජ ගමගේ, කෙනුල පිහිලිඅංග, යෝෂිත් අබේකෝන්, චානුල් කොඩිතුවක්කු, මනූල විජේතුංග, නදීෂ බණ්ඩාරනායක, පමුදිත බණ්ඩාර, ඉශාන් අයෝධ්‍ය, ඩොමින්සර පීරිස්, උමන්ත කිත්සිරි, දිනිදු සයුරංග, සනිරු දහනායක, තුෂාන් බණ්ඩාර, ගමිදු වික්‍රමසිංහ, අදිශ නිම්නද, ජනනු රොද්‍රිගෝ සහ මොවිදු සේනානායක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.