ඕෂධගේ සහභාගිත්වයත් වැට උඩ
දකුණු අප්‍රිකාවට එරෙහිව ජොහැන්නස්බර්ග් නුවරදී අනිද්දා (03) ආරම්භ වීමට නියමිත දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරු ඕෂධ ප්‍රනාන්දුගේ සහභාගිත්වයද අවිනිශ්චිත තත්ත්වයක පවතින බව වාර්තා වේ. ඕෂධ තරගයකට සහභාගි වීමට ප්‍රමාණවත් ශාරීරික යෝග්‍යතාවයකින් නොමැත්වීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවත් මේ හේතුව නිසාම ඔහු පළමු ටෙස්ට් තරගයෙන් ඉවත්ව සිටි බවත් දැනගන්නට තිබේ.
මෙම තත්ත්වය මත දකුණු අප්‍රිකානු සංචාරයට සහභාගි වී සිටින 21 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයන් හත්දෙනකු සුදුසු ශාරීරික යෝග්‍යතාවය නොමැතිව පසුවෙති.
ඕෂධ එල්.පී.එල්. තරගාවලියේදී පාදයේ ආබාධයකට ලක්ව එම තරගාවලිය ආරම්භයේදීම ඉවත් වීමෙන් පසුව දකුණු අප්‍රිකානු සංචාරයට පිටත්ව ගොස් තිබේ.
ආබාධයන්ට ලක්ව සිටින ඉදිරි පෙළ පිතිකරු දිනේෂ් චන්දිමාල් සහ වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර දෙදෙනාත් දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරනවාද නැද්ද යන්න වෛද්‍ය සහ භෞතචික්තිතක වාර්තා මත තීරණ වේ. එම වාර්තා ඊයේ පස්වරුව දක්වා කණ්ඩායම් කළමනාකාරිත්වයට ලැබී නොතිබුණි.
චන්දිමාල්, ඕෂධ සහ ළහිරු කුමාර ක්‍රීඩා කිරීමට යෝග්‍ය මට්ටමක සිටිනවාද නැද්ද යන තීරණය මත දෙවැනි ටෙස්ට් තරගයට සංචිතයේ සෙසු ක්‍රීඩකයන් ආදේශ කිරීමට නියමිත බව කණ්ඩායම් ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ලංකා සංචිතය දෙවැනි ටෙස්ට් තරගය වෙනුවෙන් නිල වශයෙන් අද (01) සමූහ පුහුණු සැසියට සහභාගි වීමට නියමිත අතර චන්දිමාල්, ඕෂධ සහ ළහිරු කුමාර එම පුහුණු සැසියට සහභාගි වීමට සූදානමින් සිටිති.
පළමු ටෙස්ට් තරගයේදී ආබාධයකට ලක්වූ වනිඳු හසරංග දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට සූදානමින් සිටියි. පළමු ටෙස්ට් තරගයේදී ආබාධයන්ට ලක්වූ කසුන් රාජිත සහ ධනංජය ද සිල්වා මේ වන විටත් එළඹෙන එංගලන්ත සංචාරයෙන් ඉවත්කර තිබේ.
ඩිල්රුවන් පෙරේරා, ළහිරු තිරිමාන්න, ඩිල්ෂාන් මධුසංඛ, සන්තුෂ් ගුණතිලක, දුෂ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු, ලසිත් ඇඹුල්දෙණිය සහ මිනෝද් භානුක පළමු තරගයට සහභාගි නොවූ සංචිතයේ සිටින සෙසු ක්‍රීඩකයෝ වෙති.
ශාරීරික යෝග්‍යතාවය නොමැති ක්‍රීඩකයන් රැසක් දකුණු අප්‍රිකානු සංචාරයට සහභාගි කරවීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීහූ තේරීම් කමිටුවට සහ කණ්ඩායම් කළමනාකාරිත්වයට දොස් නඟා ඇති බව ද දැනගන්නට තිබේ.
ශ්‍රී ලංකාව පළමු ටෙස්ට් තරගය ඉනිමකින් පරාජයට පත්වීම නිසා තරගාවලියේ පරාජයෙන් ගැලවීමට නම් මෙම තරගය ජය ලැබිය යුතුමය.