Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්තය එක්දින තරගාවලිය සම කරයි

එංගලන්තය එක්දින තරගාවලිය සම කරයි

editorial - 2021 මාර් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවට එරෙහිව පූනේහි මාහාරාෂ්ඨ ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී අද (26 වැනිදා) පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 6 ක පහසු ජයක් ලැබූ එංගලන්තය, දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයට පත්කිරීමට සමත් විය.

ඒ අනුව අනිද්දා (28 වැනිදා) පැවැත්වෙන තෙවැනි එක්දින තරගය කණ්ඩායම් දෙකටම තීර්ණාත්මක තරගයක් වනු ඇත. දෙරට අතර පැවැති ටෙස්ට් තරගාවලිය 3-1 ක් ලෙස ජයගැනීමට ඉන්දියාව සමත් වූ අතර විස්සයි20 තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනීමට එංගලන්තය සමත් විය.

අද තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 337 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත ක්‍රීඩකයෝ ඕවර 43.3 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. එහිදී අගනා පිතිහරඹයක නිරත වූ ජොනී බෙයාස්ටෝ පන්දු 112 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 11 ක් සමග ලකුණු 124 ක් රැස්කරමින් ජයග්‍රහණයේ නියමුවා බවට පත් විය.

ආරම්භක කඩුල්ල සඳහා ජේසන් රෝයි (55) සමග එක්ව පන්දු 99 කදී ලකුණු 110 ක සම්බන්ධතාවක් ගොඩනැගූ බෙයාස්ටෝ, ඉන් නොනැවතී බෙන් ස්ටෝක්ස් (99) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 113 කදී ලකුණු 175 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් එංලගන්ත කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමීය.

පන්දු 52 කදී වාර්තා වූ රෝයිගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් වූ අතර පන්දු 52 කට මුහුණදුන් ස්ටෝක්ස් හයේ පහර 10 කින් සහ හතරේ පහර 4 කින් සිය ඉනිම සැරසුවේය. ඩේවිඩ් මැලන් (නොදැවී 16) සහ ලයෑම් ලිවිංග්ස්ටෝන් (නොදැවී 27) පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 41 කදී ලකුණු 50 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 336 ක් ලබාගත් අතර එහිදී ශතකයක් ලබාගත් ලෝකේෂ් රාහුල් (108) ඉන්දීය ඉනිම ශක්තිමත් කළේය. පන්දු 114 කදී ලබාගත් එම ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 7 කින් සමන්විත විය.

තෙවැනි කඩුල්ල වෙනුවෙන් නායක විරාට් කෝලි (66) සමග එක්ව පන්දු 140 කදී ලකුණු 121 ක සම්බන්ධතාවක්ද, සිවුවැනි කඩුල්ල වෙනුවෙන් රිෂාබ් පාන්ට් (77) සමග එක්ව පන්දු 77 කදී ලකුණු 113 ක සම්බන්ධතාවක්ද ගොඩනගැනීමටද රාහුල් සමත් විය. පන්දු 79 කදී ලබාගත් කෝලිගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 3 ක්ද, පන්දු 40 කදී ලබාගත් පාන්ට්ගේ අර්ධ ශතකයට හයේ පහර 7 ක් සහ හතරේ පහර 3 ක්ද අන්තර්ගත විය.


ඉන්දියාව - ඕවර 50 කදී කඩුලු 6 කට 336
(රෝහිත් ශර්මා 25, විරාට් කෝලි 66, ලෝකේෂ් රාහුල් 108, රිෂාබ් පාන්ට් 77, හර්දීක් පාණ්ඩ්‍යා 35, රීස් ටොප්ලේ 50/2, ටොම් කරන් 83/2)  

එංගලන්තය - ඕවර 43.3 කදී කඩුලු 4 කට 337
(ජේසන් රෝයි 55, ජොනී බෙයාස්ටෝ 124, බෙන් ස්ටෝක්ස් 99, ඩේවිඩ් මැලන් නොදැවී 16, ලයෑම් ලිවිංග්ස්ටෝන් නොදැවී 27, ප්‍රසිද් ක්‍රිෂ්ණා 58/2)

-036

 


අදහස් (0)

එංගලන්තය එක්දින තරගාවලිය සම කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.