Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඇන්ඩසන් එංගලන්තය දිනවයි

ඇන්ඩසන් එංගලන්තය දිනවයි

editorial - 2021 පෙබ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්ත පිලේ සිටින ප්‍රවීණතම වේග පන්දු යවන්නා වන ජේම්ස් ඇන්ඩර්සන්ගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් ඉන්දියාව පරදවා ලකුණු 227 ක දැවැන්ත ජයක් ලබාගැනීමට එංගලන්ත කණ්ඩායම අද (9 වැනිදා) සමත් විය. චෙන්නායිහි එම්. ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී ලබාගත් ජයත් සමගින් එංගලන්ත කණ්ඩායම තරග 4 කින් සමන්විත තරගාවලියේදී 1-0 ක් ලෙසින් පෙරමුණ ගත්තේය.

නායක ජෝ රූට් කියා සිටියේ තම වෘත්තීය දිවියේදී ජේම්ස් ඇන්ඩසන්ගෙන් යැවුණු මීට වඩා හොඳ ඕවරයක් ගැන මතක් කළ නොහැකි නමුත් දෙවන ටෙස්ට් තරගය සඳහා ඇන්ඩර්සන් කණ්ඩායමේ සිටින බවට තවමත් සහතිකයක් නොහැකි බවයි.

ලකුණු 420 ක ඉලක්කයක් කරා යමින් සිටි ඉන්දීය කණ්ඩායම වරෙක කඩුලු 2 ක් දැවී ලකුණු 92 ක් ලබා සිටියේය. එහෙත් ජේම්ස් ඇන්ඩසන්ගේ තීරණාත්මක පන්දු යැවීම හේතුවෙන් ඕවර 4 ක් ඇතුළතදී කඩුලු 5 කට 110 ක් දක්වා ඉන්දීය පිල ඇද වැටිණ.

“මෙම තරගයේ තත්ත්වය අනුව එය (ඇන්ඩසන්ගේ පන්දු යැවීමෙන් ඇති කළ බලපෑම) අති විශාලයි,” යයි එංගලන්ත නායක ජෝ රූට් සිය 38 හැවිරිදි සගයාට කෘතගුණ දක්වමින් කියා සිටියේය. ලකුණු 17 ක් පමණක් දෙමින් ඇන්ඩසන් දවාගත් කඩුලු 3 ත් සමගින් ඔහු දවාගත් ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 611 ක් දක්වා ඉහළ ගියේය.

“එයා ඉන්නේ ලොකු වැඩ වලට තමා” යයි ජෝ රූට් කීවේ ඉතාමත් තීරණාත්මක අවස්ථා වලදී එවන් ක්‍රීඩකයන්ගේ දායකත්වය තරගයක විශාල වෙනසක් ඇතිකරන බව කියා පාමිනි.

තරගයේ අවසන් දිනය වූ අද 14 වැනි ඕවරය යැවීමට කැඳවනු ලැබූ ඇන්ඩසන්ගේ දෙවැනි පන්දුව ෂුබ්මන් ගිල්ගේ පා ආවරණයත් පිත්තත් අතරින් රිංගා කඩුල්ලට කඩා වැදුණේ පිට ඉන්න ඉදිරී කරත්ත රෝදයක ගරාදි සිහියට නංවමින් කරකවා යවමිනි. එයින් පන්දු දෙකකට පසුව අජින්ක්‍යා රහනේ කඩුල්ල මුවා කළේ යයි ඇන්ඩසන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වූ නමුත් ඊළඟ පන්දුවේදී රහනේගේ පිට ඉන්න ඉදිරී විසිවී ගියේය.

තමන්ගේ හොඳම පිතිකරුවන් දෙදෙනකු දිනය ආරම්භයේදීම දැවී යාමෙන් සසළ වූ ඉන්දීය පිලට එතැන් සිට හිස එසවිය නොහැකි විය. බි්‍රස්බේන් ටෙස්ට් තරගයේ වීරයා වූ රිෂාබ් පන්ට් ලකුණු 11 කට දැවී යාමත්, ලකුණු 117 දී වොෂිංටන් සුන්දර් දැවීයාමත් හේතුවෙන් ඉන්දීය පිල ක්‍රම ක්‍රමයෙන් පරාජය කරා ඇදී ගියේය. විරාට් කෝලි පිටියේ සිටි නමුත් ඔහුට තනිවම සටන් කරන්නට සිදුවී තිබිණ.

ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් වන මෙම තරගයේදී ලද ජයත් සමගින් එංගලන්තය ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළටම පැමිණියේය. එහෙත් තරගාවලිය දිගහැරෙන ආකාරය අනුව එහි ස්ථාන වෙනස් වෙයි.


එංගලන්තය - පළමු ඉනිම 578 යි
ඉන්දියාව - පළමු ඉනිම 337 යි
එංගලන්තය - දෙවැනි ඉනිම 178 යි
ඉන්දියාව - දෙවැනි ඉනිම 192 යි

(රෝහිත් ෂර්මා 12, ෂුබ්මන් ගිල් 50, චෙටේස්වාර් පුජාරා 15, විරාට් කෝලි 72, රිෂාබ් පන්ට් 11, ජැක් ලීච් 76/4, ජේම්ස් ඇන්ඩසන් 17/3)


- 213

 


අදහස් (0)

ඇන්ඩසන් එංගලන්තය දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.