Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ආනන්දය - නාලන්දාව කරට කර

ආනන්දය - නාලන්දාව කරට කර

සංජය එරමුදුගොඩ - 2016 මාර් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයට වැඩිම ජාත්‍යන්තර ක‍්‍රීඩකයන් සංඛ්‍යාවක් දායාද කළ පාසල් දෙක වන කොළඹ ආනන්ද විදුහල සහ නාලන්දා විදුහල අතර 87 වැනි වරටත් පැවැත්වෙන ‘සුලෝහිත සංග‍්‍රාමය’ මහ ක‍්‍රිකට් තරගය හෙට සහ අනිද්දා (5 සහ 6) දෙදින එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙම පාසල් දෙකෙන් ටෙස්ට් සහ එක්දින ක‍්‍රීඩකයන් 60 අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමට එක්කර තිබීම විශේෂයෙන් කැපී පෙනේ. ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායකයා වන බන්දුල වර්ණපුර මහතා සහ ශ්‍රී ලංකාවේ සුවිශේෂි ක‍්‍රිකට් නායකයකු වන මහේල ජයවර්ධන, නාලන්දා විදුහලේද, 1996 වසරේ ලෝක කුසලාන දීනු ශ්‍රී ලංකා පිලේ නායකත්වය දැරූ අර්ජුන රණතුංග මහතා ආනන්ද විදුහලේද ආදි සිසුවෝ වෙති.

මෙම විදුහල් දෙකෙන් ශ්‍රී ලංකා ජාතික පිලට (බන්දුල වර්ණපුර, අර්ජුන රණතුංග, රොෂාන් මහානාම, මාවන් අතපත්තු, මහේල ජයවර්ධන සහ දිනේෂ් චන්දිමාල්) නායකයන් හය දෙනකු බිහිකර තිබේ.

ආනන්ද සහ නාලන්දා විදුහල් දායාද කළ බන්දුල වර්ණපුර, අර්ජුන රණතුංග, සිදත් වෙත්තමුණි, අනුර රණසිංහ, අජිත් ද සිල්වා, ලලිත් කළුපෙරුම, බ්‍රෙන්ඩන් කුරුප්පු, රොෂාන් මහානාම, අසංක ගුරුසිංහ, මාවන් අතපත්තු, කුමාර ධර්මසේන, අවිෂ්ක ගුණවර්ධන, මහේල ජයවර්ධන සහ තිලාන් සමරවීර යන ක‍්‍රීඩකයෝ ඉදිරියෙන් පසු වෙති.

මෙම මහ ක‍්‍රිකට් තරගයේ 1924 වසරේ සිට පැවැති තරග 86 කදී ආනන්ද විදුහල තරග 12 ක්ද, නාලන්දා විදුහල තරග 6 ක්ද ජය ලබා ඇති අතර ඉතිරි තරග විසඳුමකින් තොරව අවසන් වී තිබේ. ආනන්ද විදුහල අවසන් වරට 2003 වසරේ දමින්ද කුලරත්නගේ නායකවත්වයෙන් ද, නාලන්දා විදුහල 1953 වසරේ ඩබ්ලිව්. ඩබ්ලිව්. සිල්වාගේ නායකත්වයෙන් ද අවසන් වරට ජය ලබා තිබේ.

මෙවර ආනන්ද විදුහල් පිලේ නායකයා ලෙස නිසල් ෆ‍්‍රැන්සිස්කෝද, නාලන්දා විදුහල් පිලේ නායකයා ලෙස දසුන් සෙනෙවිරත්නද, කටයුතු කරති.

ආනන්ද විදුහල මෙම තරග වාරයේ තරග 15 කට ක‍්‍රීඩා කර එහිදී ගම්පහ බණ්ඩාරනායක, අම්බලන්ගොඩ ධර්මාශෝක සහ පන්නිපිටිය ධර්මපාල යන විදුහල්වලට එරෙහිව පූර්ණ ජයග‍්‍රහණ 3 ක් ලැබූ අතර මහනුවර ත‍්‍රිත්ව විදුහල හමුවේ පමණක් පරාජයට පත්විය.

යොවුන් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිලේ උප නායකයා ලෙස කටයුතු කළ ප‍්‍රවේගකාරී පිතිකරු සමූ අෂාන් මෙවර  ආනන්ද විදුහල් පිල නියෝජනය කිරීම නාලන්දාවට දැඩි අභියෝගයක් වීමට බොහෝ දුරටත් ඉඩ තිබේ.

ආනන්ද විදුහලේ මෙම තරග වාරයේ ප‍්‍රබලතම ක‍්‍රීඩකයා වන උප නායක වමත් පිතිකරු කවිෂ්ක අංජුල ලකුණු 752 ක් රැස්කරමින් කඩුලූ 52 ක් ද දවා ගැනීමට සමත්ව සිටියි.

සමූ අෂාන් සමඟ සහ කවිෂ්ක අංජුල (752), නායක නිසල් ෆ‍්‍රැන්සිස්කෝ (612), අසෙල් සිගේරා (438) සහ කමේෂ් නිර්මාල් (388) මෙවර ආනන්ද විදුහල් පිතිකරු ලැයිස්තුව ශක්තිමත් කරන සෙසු ප‍්‍රබල පිතිකරුවෝ වෙති.

වමතින් දඟ පන්දු යවන දිලීප ජයලත් මෙම තරග වාරයේදී කඩුලූ 64 ක් දවාගනිමින් ආනන්ද විදුහල් පිලේ වැඩිම කඩුලූ ලාභියා බවට පත්ව සිටියි. මෙවර ආනන්දය සතු සෙසු ප‍්‍රබලතම පන්දු යවන්නන් ලෙස කවිෂ්ක අංජුල (52) සහ අසෙල් සිගේරා (48) ඉදිරියෙන් සිටිති.   

නාලන්දා විදුහල මෙම තරග වාරයේ තරග 17 කට සහභාගි වී තර්ස්ටන්, කොළඹ ඞී. එස්. සේනානායක සහ මාතර රාහුල යන විදුහල්වලට එරෙහිව පූර්ණ ජයග‍්‍රහණ 3 ක් ලැබීය. නාලන්දා පිල ගාල්ල රිච්මන්ඞ් සහ ගල්කිස්ස සාන්ත තෝමස් යන විදුහල් හමුවේ පරාජයට පත්විය.

මෙවර නාලන්දා විදුහල් පිලේ ප‍්‍රබලතම ක‍්‍රීඩකයා වන වමතින් දඟ පන්දු යවන උප නායක කවිදු බණ්ඩාර කඩුලූ 93 ක් දවා ගනිමින් ලකුණු 413 ක් රැස්කිරීමට ද සමත්ව සිටියි.

ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කළ තුන් ඉරියව් ක‍්‍රීඩක මාලිංග අමරසිංහ මෙවර ද නාලන්දා විදුහල් පිල නියෝජනය කිරීම දැවැන්ත ශක්තියක් එක්කරයි.

මෙම තරග වාරයේ නාලන්දා විදුහල් පිලේ ප‍්‍රබලතම පිතකිරු වන නායක දසුන් සෙනෙවිරත්න ලකුණු 545 ක් රැස්කර තිබේ. නිම්නක රත්නායක (535), කසුන් සඳරුවන් (511), ඩිලාන් සුරවීර (433), මාලිංග අමරසිංහ (425) සහ කවිඳු බණ්ඩාර (413) නාලන්දා විදුහල් පිතිකරු ලැයිස්තුව ශක්තිමත් කරන සෙසු ප‍්‍රබල පිතිකරුවෝ වෙති.

කඩුලූ 93 ක් දවා ගෙන සිටින කවි`දු බණ්ඩාර සමඟ ඩිලාන් සුරවීර කඩුලූ 36 ක් ද, අසේල් කුලතුංග කඩුලූ 20 ක් ද, දවා ගනිමින් නාලන්දා විදුහල් පන්දු යැවීමේ බලඇණිියට ශක්තිය එකතු කරති.

දෙවිදුහල් අතර වාර්ෂික සීමිත  ඕවර ක‍්‍රිකට් තරගය මේ මස 13 වැනිදා එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

 


ආනන්ද විදුහල් සංචිතය:
නිසල් ෆ‍්‍රැන්සිස්කෝ (නායක), කවිෂ්ක අංජුල (උප නායක), සමූ අෂාන්, කලණ පෙරේරා, රහල් අවිෂ්ක, දිලීප ජයලත්, නිපුන් හග්ගල්ල, අසෙල් සිගේරා, සුපුන් වරාගොඩ, අවීෂ විල්ලවආරච්චි, ළහිරු උදයංග, සහන් සුරවීර, දුෂාන් හෙට්ටිගේ, කමේෂ් නිර්මාල්, දිනුක ජයරත්න, ළහිරු අත්තනායක සහ අචිල ඉරංග

 


නාලන්දා විදුහල් සංචිතය:
දසුන් සෙනෙවිරත්න (නායක), කවිඳු බණ්ඩාර (උප නායක), කසුන් සඳරුවන්, නිම්නක රත්නායක, මාලිංග අමරසිංහ, තිනුර හෙට්ටිආරච්චි, අරෝෂණ කුමාර, අසේල් කුලතුංග, ඩිලාන් සුරවීර, සුහඟ විජේවර්ධන, ලක්‍ෂිණ රසාංජන, කලන පෙරේරා, මධුසංඛ ගුණදාස, එරංග ජයසිංහ, උමේක්‍ෂ දිල්ෂාන් සහ හරීන් රත්නමුදලි

 


අදහස් (0)

ආනන්දය - නාලන්දාව කරට කර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.