
(ශානුක අරවින්ද)
ඕස්ට්‍රේලියාවට එරෙහිව ඉකුත් බදාදා (11 වැනිදා) කොළඹදී පැවැති තරගයේදී පාදයේ ආබාධයකට ලක්වූ අයර්ලන්ත කණ්ඩායමේ නායක පෝල් ස්ටර්ලින්ට මෙවර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සෙසු තරගවලට සහභාගි වීමේ අවස්තාව අහිමිවී ඇත.
ඕස්ට්‍රේලියානු ඉනිම තුළ පන්දු රකිමින් සිටියදී දණහිසේ ආබාධයකට ලක්ව ස්ටර්ලින්, ක්‍රීඩාගාරයට ගොස් ප්‍රතිකාර ලබාගත් අයුරු දැකගත හැකි විය. අයර්ලන්ත ඉනිමේ පළමු පන්දුවට මුහුණදීමෙන් අනතුරුව ලකුණක් කරා දිවයෑමේදී එම ආබාධය තවත් උත්සන්න වීම හේතුවෙන් ක්‍රීඩාගාරය බලා ගිය ඔහු, ඉනිම නිමාවන තෙක්ම යළිත් පන්දුවට පහරදීම සඳහා නොපැමිණියේය.
ස්ටර්ලින්ගේ හිදැස පිරවීම සඳහා අයර්ලන්ත සංචිතයට සෑම් ටොපින් කැඳවීමට අයර්ලන්ත කණ්ඩායමේ කලමණාකාරීත්වය කළ ඉල්ලීමට අනුමැතිය ලබාදීමට තරගාවලියේ තාක්ෂණ කමිටුව පියවර ගෙන තිබේ. ඒ අනුව අද (13 වැනිදා) සිට ඔහු අයර්ලන්ත සංචිතය සමග එක්වනු ඇත.
තවමත් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී අයර්ලන්තය නියෝජනය කර නොමැති 20 හැවිරිදි සෑම්, දේශීය විස්සයි-20 තරග 12 කදී අර්ධ ශතක 4 ක් සමග ලකුණු 374 ක් රැස්කිරීමට සමත්ව ඇත්තේ ලකුණු 34 ක සාමාන්‍යයකට සහ 134.05 ක ප්‍රහාරාත්මක වේගයකට හිමිකම් කියමිනි.
ලෝක කුලාන තරගාවලියේ අයර්ලන්තය සහභාගි වන මීළඟ තරගය හෙට (14 වැනිදා) ඕමානයට එරෙහිව කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.