Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics හිමාෂට වසර හතරක තහනමක්

හිමාෂට වසර හතරක තහනමක්

editorial - 2022 අගෝ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

අභියාචනයක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබා දෙමින් තහනම් උත්තේජක චෝදනාවට වැරදිකරු කළ මලල ක්‍රීඩක හිමාෂ ඒෂාන්ට සිව්වසරක පූර්ණ තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා උත්තේජන මර්දන නියෝජායතනයේ විනය කමිටුව නිර්දේශකර තිබේ.

වසර 2021 ඔක්තෝබර් 26 වැනිදා නාරහේන්පිට යුද හමුදා නිල නිවාස සංකීර්ණය තුළදී සිදු කළ තහනම් උත්තේජක විමර්ශන මුත්‍රා නියැදි පරීක්ෂණ ක්‍රියාවලියට අනුව හිමාෂ ඒෂාන්ට මෙම තහනම ක්‍රියාත්මක වන කාලය තුළ දී සියලු ආකාරයේ ක්‍රීඩා කටයුතු හා පුහුණුවීම්වල නිරතවීමෙනුත් වැළකී සිටිය යුතු බව ශ්‍රී ලංකා උත්තේජන මර්දන නියෝජායතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සීවලි ජයවික්‍රම හා එහි නීති නිලධාරි ඩී.එන්.එස්. මල්ලවආරච්චි යන මහත්වරුන්ගේ අත්සනින් ඊයේ (9) නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එමගින් හිමාෂ ඒෂාන්ට වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ මෙම තීරණය සම්බන්ධයෙන් තෘප්තිමත් නොවන්නේ නම් ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජන ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ තීරණය දැන ගැනීමෙන් සති දෙකක් ඇතුළත උත්තේජන මර්දන නියෝජායතනයේ අභියාචනා මූල මණ්ඩලය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමේ අයිතියක් ඔහුට හිමිව තිබෙන බවයි.
27 හැවිරිදි හිමාෂ වසර 2012 දී ද තහනම් උත්තේජන චෝදනාවට වැරදිකරු වුණු අවස්ථාවක දී වසරක ළිහිල් තහනමක් ඔහුට පැනවුණි. බර්ටින්හැම් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් අවධානය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රීඩක සුපුන් අබේකෝන්ට පෙර මීටර් 100 හා මීටර් 200 යන පිරිමි ඉසව්හි ශ්‍රී ලංකා වාර්තා දෙකකට හිමිකම් කීවේ හිමාෂ ඒෂාන්ය.

මීටර් 200 (පිරිමි) ඉසව්වේ හා මීටර් 4x100 (පිරිමි) ඉසව්වේ මීට පෙර දකුණු ආසියානු (සාෆ්) රන් පදක්කම්ලාභියෙකුද වන හිමාෂ අවසන් වරට වසර 2019 ‘කත්මන්ඩු’ නුවර පැවති 13 වෙනි සාෆ් ක්‍රීඩා උළෙලේ දී මීටර් 100 (පිරිමි) ඉසව්වේ දී තත්ත්පර 10.50 කට දිනා ගත්තේ රිදී පදක්කමයි.

එම ධාවනයේ දී තත්පර 10.49කට ඔහු පරාජය කරමින් රන් පදක්කම දිනාගත් හසන් සයිඩ් 1984 දී ආරම්භ වූ දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ඉතිහාසයේ මාලදිවයිනට මලල ක්‍රීඩාවෙන් පමණක් නොව සියලු ක්‍රීඩා ඉසව්වලින් එදා මෙදා තුර දිනා දුන් මෙතෙක් එකම හා පළමු රන් පදක්කම හිමිකර දීමේ ගෞරවය ලැබීය.

 


අදහස් (0)

හිමාෂට වසර හතරක තහනමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.