Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics තරුෂිගෙන් ආසියානු පදක්කම් ත්‍රිත්වයක්

තරුෂිගෙන් ආසියානු පදක්කම් ත්‍රිත්වයක්

editorial - 2023 ජුලි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

තායිලන්තයේ ‘පතායා’ නුවරදී අද (16) නිමාවට පත් වූ 24 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 800 (කාන්තා) ඉසව්වෙන් නව ආසියානු වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකා තරුෂි දිල්සරා කරුණාරත්න සමත් වූවාය.

විනාඩි 2 තත්පර 00.66 ක කාලයක් වාර්තා කරමින් මෙම විශිෂ්ඨ දක්ෂතාවය දැක්වූ තරුෂි කරුණාරත්න තවමත් 19 හැවිරිදි වියේ පසුවන වලල ඒ. රත්නායක විදුහලේ උසස් පෙළ හදාරන සිසුවියකි. ඇගේ අද දක්ෂතාවයේ විශේෂතා ගණනාවක්ම දක්නට ලැබේ.

වසර 1998 (ෆුකෝකා) ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියෙන් පසුව මෙරට පාසල් සිසුවියක් වන ක්‍රීඩිකාවක් මෙම තරගාවලියේදී රන් පදක්කමක් දිනාගත් පළමු අවස්ථාව මෙයයි. 1998 තරගාවලියේදී එවකට කොළඹ කාන්තා විදුහලේ සිසුවියකව සිටියදී දමයන්ති දර්ශා මීටර් 400 (කාන්තා) ඉසව්වේ රන් පදක්කම දිනාගත්තාය.

වසර 2002 කොළඹදී පැවැති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී සුසන්තිකා ජයසිංහ මීටර් 200 (කාන්තා) ඉසව්වෙන් නව ආසියානු වාර්තාවක් (තත්පර 22.84) පිහිටුවමින් රන් පදක්කම දිනාගැනීමෙන් පසුව මෙරට ක්‍රීඩිකාවක් තරගාවලියේදී පිහිටවූ පළමු වාර්තාව බවටද එය පත්විය.

තරුෂි විසින් අද බිඳදමනු ලැබුවේ චීන ක්‍රීඩිකා ජියෑන් සෑන්ග් විසින් 1998 වසරේදී මීටර් 800 (කාන්තා) ඉසව්වෙන් විනාඩි 2 තත්පර 01.16 කට පිහිටුවා තිබූ වාර්තාවය. පාදයේ සුළු ආබාධයකට ප්‍රතිකාර ලබා සිටියදී ඊයේ ඇය වාර්තා පිට වාර්තා පිහිටුවමින් මෙම ජයග්‍රහණය අත්කර ගැනීම කැපී පෙනේ. එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගනු ලැබුවේද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක වන ගයන්තිකා අබේරත්න විසිනි.

මෙම තරගාවලියේ මීටර් 400×4 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වේ රිදී පදක්කම සහ මීටර් 400×4 කාන්තා සහාය දිවීමේ ඉසව්වේ රිදී පදක්කම හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම්වල ක්‍රීඩිකාවක්ද වීමෙන් තරුෂි අද සවස් වන විට ත්‍රිත්ව පදක්කම් ලාභිණියක් බවටද පත්ව සිටියාය.

එපමණක් ද නොව කොරියාවේදී පසුගියදා නිමාවට පත්වූ ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේදී තරුෂි රන් පදක්කම් දෙකක් සහ රිදී පදක්කමක් දිනාගැනීමටද සමත් වූවාය. ඇගේ පුහුණුකරු වන්නේ වලල ඒ. රත්නායක මධ්‍ය මහා විදුහලේ ප්‍රධාන මලල ක්‍රීඩා පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු මහතාය.

 


අදහස් (0)

තරුෂිගෙන් ආසියානු පදක්කම් ත්‍රිත්වයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.