(නාමල් පතිරගේ )
මාර්තු 12 වැනිදා නිලවරණයෙන් (2025 - 26) පත් වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නව විධායක සභාව ජාතික මලල ක්‍රීඩා පුහුණුකරු ධූරයට සජිත් ජයලාල් මහතා යෝජනා කර තිබේ.
මෙරට සිටින මැදි දුර හා දිගු දුර ඉසව්හි ප්‍රවීනතම පුහුණුකරුවෙකු වන සජිත් ජයලාල් මහතා මේ වන විට ජාතික ක්‍රීඩා විද්‍යාතනයේ අධ්‍යක්ෂවරයා ලෙස වෘත්තියෙන් කටයුතු කරයි.
ක්‍රීඩා නියෝජ්‍ය අධ්‍යක්ෂ ධූරයේද කලක් කටයුතු කළ ඔහු කියුබාවේදී ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා විෂය පඨයට අදාළව පස් වසරක මලල ක්‍රීඩා උපාධියක් හදාරා තිබේ. ඒ හැරෙන්නට රුහුණු හා කැළණිය යන විශ්වවිද්‍යාල වලින් ක්‍රීඩා සමාජ විද්‍යා ශාස්ත්‍රවේදී හා කලා උපාධි දෙකක් ලබා තිබේ.
ඔහු එකළ ක්‍රීඩකයෙකු ලෙස මීටර 800 ඉසව්වේ ජාතික පාසල්, අන්තර් පළාත් හා ජාතික මහ ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහණ අත් කර ගෙන තිබේ. ජයලාල් මහතා මාතර රෝහණ මහ විදුහලේ ආදි සිසුවෙකි. ඔහුගෙන් මේ වන විට පුහුණුව හැදෑරූ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන 400 කට වැඩිය. ඒ අතර ජාත්‍යන්තර පදක්කම් දිනා ගත් බොහෝ පිරිසකි.
මේ අතර මලල ක්‍රීඩා නව විධායක සභාව සාකච්ඡා කර තිබෙන පරිදි උසස් දක්ෂතා ප්‍රවර්ධන මලල ක්‍රීඩා පුහුණුකරු ධූරයට සුසන්ත ප්‍රනාන්දු මහතාත් හිටපු ජාතික මලල ක්‍රීඩා පුහුණුකරු වයි.කේ. කුලරත්න මහතා පුහුණුකරු කමිටුවේ සභාපති ධූරයටත් යෝජනාවී තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.