Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ගයන්තිකාට - නදීෂාට ආසියානු පදක්කම්
ආසියානු ශූරතා මලල ක්‍රීඩා

ගයන්තිකාට - නදීෂාට ආසියානු පදක්කම්

editorial - 2023 ජුලි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(නාමල් පතිරගේ)

තායිලන්තයේ පත්තයා නුවරදී අද (12) ආරම්භ වූ 24 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දිනය නිමාවේදී ශ්‍රී ලංකාව ලෝකඩ පදක්කම් දෙකක් දිනාගෙන තිබුණි.

එහිදී 1973 දී ආරම්භ  වූ මෙම තරගාවලි ඉතිහාසයේ පළමු වතාවට මීටර 1500 (කාන්තා) ඉසව්වෙන් පදක්කමක් දිනා ගැනීමට ද අද ශ්‍රී ලංකාව සමත් විය.

ගයන්තිකා අබේරත්න විනාඩි 4 තත්පර 14.39 ක දක්ෂතාවක් දක්වමින් එහිදී මීටර 1500 (කාන්තා) ඉසව්වේ ලෝකඩ පදක්කම අද දිනා  ගත්තාය.

ජපාන ක්‍රීඩිකා නෂෝමි ගොටාසුමි මිනිත්තු 4 තත්පර 06.75කට මෙහි රන් පදක්කම දිනාගත් අතර එහි රිදී පදක්කමත් ජපාන ක්‍රීඩිකාවක් සතු වූවාය.

 මේ අතර ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩිකා නදීෂා දිල්හානි ලේකම්ගේ අද ශ්‍රී ලංකාවට හිමිකර දුන් දෙවැනි ලෝකඩ පදක්කම මීටර 60.93කට වාර්තා විය. එය ඇගේ දෙවැනි ආසියානු ශූරතා පදක්කමයි.

එහි විශේෂත්වය එම දක්ෂතාව ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීම (කාන්තා) ඉසව්වේ නව  ශ්‍රී ලංකා වාර්තාව බවට අද සිට පත්වීමයි. වසර 2017 දී නදීකා ලක්මාලි විසින් මෙහි මීට පෙර ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවා තිබුණේ මීටර 60.64කටය.
ජපන් ක්‍රීඩිකා මරීනා සයිටෝ මෙවර ආසියානු ශූරතා තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ (මීටර 61.67) ජයග්‍රාහිකාවයි.

මේ අතර හෙට (13) දිනයේදී ශ්‍රී ලංකාව පදක්කමක් අපේක්ෂා කරන මීටර 400 (පිරිමි)  ඉසව්ව අවසන් පූර්ව වටය සඳහා තරග වැදුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනා වන අනුර දර්ශන (තත්පර 45.79) හා රාජිත රාජකරුණා (තත්පර 46.12) හෙට පැවැත්වෙන එහි අවසන් තරගයට නිර්දේශ ලබාගැනීම කැපී පෙණුනි.

එහිදී රාජකරුණාගේ අද දක්ෂතාව ඔහුගේ මෙතෙක් ඉසව්වේ  හොඳම දක්ෂතාව ද වන්නේය. ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව අද වනවිට දිනාගෙන තිබූ මුළු ලෝකඩ පදක්කම් ගණන 21ක් විය.

ජපානය අද තරගාවලියේ පළමු දිනය නිමාවේදී රන් පදක්කම් දෙකක් දිනා පදක්කම් සටහනේ පෙරමුණට පැමිණියේය. ඒ සමගම ජපානය ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලි ඉතිහාසයේ  එදා මෙදා තුර දිනාගත්  රන් පදක්කම් මුළු එකතුව අද වනවිට 158ක් බවට පත්විය.

මීටර 400 (කාන්තා) ඉසව්වේ මූලික වටයේදී තත්පර 53.06ක දක්ෂතාවක් පළකරමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකා නදීෂා රාමනායක හෙට පැවැත්වෙන එහි අවසන් තරගයට ප්‍රවේශ වූයේ ශ්‍රී ලංකාවට තවත් පදක්කමක් කෙරෙහි අපේක්ෂා ඇති කරමිනි.


අදහස් (0)

ගයන්තිකාට - නදීෂාට ආසියානු පදක්කම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.