Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 2265 ක් පිටියට බසිති
මලල ක්‍රීඩා ජාතික කනිෂ්ඨ ශූරතාවලිය

ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 2265 ක් පිටියට බසිති

editorial - 2023 මැයි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

වයස් කාණ්ඩ හතරකින් ඉසව් 121 කට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2265 දෙනෙකු සහභාගිවන 63 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අනිද්දා (7 වැනිදා) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ. එය ලබන බදාදා දක්වා දින හතරක් පුරා (7, 8, 9, 10) පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙහි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඇති වැදගත්කම වන්නේ අගෝස්තු 1 සිට 8 වැනිදා දක්වා ට්‍රිනිඩෑඩ් හිදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙලට නිර්දේශ කෙරෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් තේරීම් තරගාවලිය බවට එය පත්ව තිබීමය.
වයස 16 න් පහළ, 12 න් පහළ, 20 න්  පහළ, 23 න් පහළ කාන්තා හා පිරිමි සියලු මලල ක්‍රීඩා ඉසව් එහිදී පැවැත්වීමට සැළසුම්කර තිබේ.

මෙවර ජාතික කනිෂ්ඨ තරගාවලියට අයදුම්කර තිබෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් 1342 දෙනෙකු ක්‍රීඩකයන්ය. වැඩිම ක්‍රීඩකයන් ගණන නියෝජනය කරනු ලබන්නේ මීටර 400 (පිරිමි) වයස 16 න් පහළ ඉසව්වෙනි. එය ගණනින් 152 කි. මීටර 400 (කාන්තා) වයස 16 පහළ ඉසව්වට ඉදිරිපත්ව සිටින ක්‍රීඩිකාවන් ගණන 114 කි. එය ඉසව්වක් සඳහා අයදුම්කර ඇති වැඩිම ක්‍රීඩිකාවන් ගණනයි.  ඉසව් සඳහා වැඩිම අයැදුම්පත් යොමුවී ඇත්තේද වයස 16 න් පහළ කාන්තා හා පිරිමි ඉසව් සඳහාය.

හෙට (7) පෙරවරු 7.30 ට මීටර 5000 – වයස 20 න් පහළ හා 23 න් පහල (පිරිමි) ඉසව්වෙන් තරගාවලිය ඇරඹේ.

මෙවර නිල අනුග්‍රාහකයෙකු නොමැතිව තරගාවලිය පැවැත්වීමේදී තරග අයදුම්පත් ගාස්තු ඉහළ දැමීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය කටයුතු කර තිබේ. ඊට විරෝධයක් එල්ලවී තිබෙන නමුත් ඉසව් අතිවිශාල ගණනක් දින හතරක් පුරා පැවැත්වීමට සිදුවීම තුළ වැයවෙන විශාල වියදම ආවරණය කර ගැනීම සඳහා මෙම තීරණයට එළඹීමට සිදුවූ බව මලල ක්‍රීඩා ආයතනය පෙන්වා දෙයි.

බදාදා (10) පස්වරු 4.50 ට පැවැත්වීමට නියමිත මීටර් 1500 වයස 20 න් පහළ (පිරිමි) ඉසව්වෙන් පසුව මෙවර තරගාවලිය නිමාවට පත්වේ.

ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ තීරක හා විනිසුරු කාර්ය මණ්ඩලය 120 කි. ඔවුන් සඳහා පමණක් දෛනික ගෙවීම් කිරීමට රුපියල් ලක්ෂ 15 ක් පමණ අවශ්‍යවී තිබේ. මෙම වසරේදී යෙදී තිබෙන ප්‍රමාණයට අන්තර්ජාතික මලල ක්‍රීඩා කනිෂ්ඨ හා යොවුන් තරග මාලා කීපයකටම ශ්‍රී ලංකා කණ්ඩායම් සහභාගී කිරීමට මලල ක්‍රීඩා සංගමය අපේක්ෂා කරයි.

උස්බෙකිස්ථානයේ ටෂ්කන්ට් නුවරදී නොබෝදා නිමාව දුටු පස්වැනි ආසියානු මලල ක්‍රීඩා යොවුන් (වයස 18 න් පහළ) තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් හත් දෙනෙකුගේ කණ්ඩායමක් යොමු කළ ශ්‍රී ලංකාව එහිදී රිදී පදක්කම් හා ලෝකඩ පදක්කම් දෙක බැගින් දිනා ගත්තේය. කොරියාවේ ‘සෙමි සොන්’ නුවරදී ලබන ජුනි 4 වැනිදා සිට 7 වැනිදා  දක්වා පැවැත්වෙන ආසියානු යොවුන් (වයස 20 න් පහල) මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව මේ  වන විට ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නිර්දේශ කර තිබේ.


අදහස් (0)

ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 2265 ක් පිටියට බසිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.