Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට යන්න යුපුන් අබේකෝන් බෑ කියයි

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට යන්න යුපුන් අබේකෝන් බෑ කියයි

editorial - 2023 මැයි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

තායිලන්තයේ පත්තයා නුවරදී ලබන ජුලි 12 සිට 16 වැනිදා දක්වා පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට තමන් සහභාගී නොවන බව ඉතාලියේ වෙසෙන ශ්‍රී ලංකා කෙටි ධාවන ශූර යුපුන්  අබේකෝන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා (ආයතනයට) දැනුම් දී තිබේ.

එම කාලවකවානුව තුළ දී යුරෝපයේ පැවැත්වෙන තරග මාලා කීපයකට තමන්ට සහභාගිවීමට සිදුව තිබෙන බැවින්  සිය ඉතාලි ජාතික පුහුණුකරු ක්ලෝමියෝ උත්සාඩොලොන් මහතාගේ උපදෙස් පරිදි ආසියානු ශූරතා තරගාවලිය අත්හැර දැමීමට තීරණය කළ බව  යුපුන් අබේකෝන් ශ්‍රී ලංකා ක්‍රීඩා  ආයතනයට දැනුම් දී තිබේ. කෙසේ වුවත් ලබන සැප්තැම්බර් 29 වැනිදා සිට ඔක්තෝබර් මස 5 වැනිදා දක්වා චීනයේ ‘හංජෝ’ නුවර දී පැවැත්වෙන එහි ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලියට තමන් සහභාගි වන බව ඔහු ශ්‍රී ලංකාවට දැනුම් දී තිබේ.

එංගලන්තයේ බර්මින්හැම් නුවර දී පසුගිය අගෝස්තු මාසයේ දී පැවැති 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය  ක්‍රීඩා උළෙලේ දී මීටර් 100 (පිරිමි) ඉසව්ව තත්පර 10.14කට නිමා කරමින් ලෝකඩ පදක්කමක් ලද යුපුන් 1998 න් පසුව, පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලකදී  ශ්‍රී ලංකාවට පළමු මලල ක්‍රීඩා පදක්කම දිනා දුන්නේය. එය කෙටි ධාවන ඉසව්වකින් ශ්‍රී ලාංකික මලල ක්‍රීඩකයෙකු විසින් දිනාගත් පළමු වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය පදක්කමද වේ.

මේ වන විට 28 හැවිරිදි යුපුන් පසුගිය ඉරිදා (7) ඉතාලියේ දී පැවැති ‘ෆ්ලෝරන්ස් ස්ප්‍රින්ට් මලල ක්‍රීඩා සැණකෙළියේ දී මීටර් 200 (පිරිමි) ඉසව්ව තත්පර 20.60කට නිමා කරමින් ආසන්නතම ජයග්‍රාහණය වාර්තා කළේය.  

පත්තයා ආසියානු ශූරතා තරගාවලියට සුපුන් සහභාගි නොවීම නිසා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා (ආයතනය) පැවසුවේ ඒ සම්බන්ධයෙන් සිය ආයතනයට මැදිහත්වීම් කළ නොහැකි බවයි.

‘‘ඔහු සමග අපේ ගිවිසුමක් හෝ වෙනත් නීත්‍යානුකූල ලියවිල්ලකින් බැඳීමක් නෑ. නමුත් ඔහු හංජෝ ආසියානු ක්‍රීඩා උළෙලට ඉදිරිපත්වීම ගැන අපට සතුටුයි“ යයි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු  මහතා පැවසීය.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ දින කීපයක් ගත කිරීම සඳහා පැමිණි යුපුන් අබේකෝන් එහිදී ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා සමග සිය ඉදිරි  නේවාසික පුහුණුවීම් සැළැස්ම සම්බන්ධයෙන් සාකච්ඡා කළේය. එහි දී ඔහු ඩොලර් 160,000ක පිරිවැයක්  දිරිය යුතු  අනාගත පුහුණු සැළැස්ම ඉදිරිපත් කර සිටියේය.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා පදක්කම දිනා ගැනීමෙන් පසුව ඔහුගේ පුහුණුවීම්  සාර්ථක කර ගැනීම සඳහා ‘ශ්‍රී ලංකා ක්‍රිකට්’ (අයතනය) අනුග්‍රාහයෙන්  ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් ප්‍රදානය කළේය. එවකට පැවැති විනිමය අනුපාත අනුව, එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 38 කට හෙවත් මිලියන 4 කට ආසන්න අගයක් ගත්තේය. වාරික දෙකකින් එය ප්‍රදානය කිරීමේදී පළමු ඩොලර් 50,000ක මුදල මේ වනවිටත් ඔහුට ප්‍රදානය  කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්, මොහාන් ද සිල්වා මහතා විසින් එම ඩොලර් 50,000 ඔහුට ප්‍රදානය කරන ලදි.

පසුගිය වසරේ ජුලි 03 වැනිදා, සුරිච් නුවර දී පැවැති ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියක දී ඔහු තත්පර 9.96කට නව වාර්තාවක් පිහිටුවමින් මිටර් 100 (පිරිමි) ඉසව්ව ජය ගැනීමට සමත් විය. එය මේ දක්වා දකුණු ආසියානු රටක ධාවකයෙකු විසින් තත්පර 10ට අඩුවෙන් මීටර් 100 ඉසව්ව නිමා කළ පළමු අවස්ථාව ලෙස සැලකේ.

මෙම වසරේ අගෝස්තු 19 වැනිදා සිට 27 වැනිදා දක්වා හංගේරියාවේ බුඩාපේස්ට් නුවර දී පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට තරග වැදීම සුපුන්ගේ ආසන්නතම බලාපොරොත්තුවකි. පසුගිය ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට සහභාගි වූ සුපුන් එහිදී මීටර් 100 ඉසව්වේ තත්පර 10.19 ක දක්ෂතාවයක් දැක්වුවත් අවසන් පූර්ව වටයට ප්‍රවේශ වීමට අපොහොසත් විය.

ශ්‍රී ලංකා යුද  හමුදාවේ සේවය කළ සුපුන්ට තවදුරටත් යුද හමුදාවෙන් වැටුප් ගෙවන බවද වාර්තාවේ.

බර්මින්හැම් නුවර පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය  ක්‍රීඩා උළෙලේ දී පදක්කම දිනා ගැනීමෙන් පසුව යුපුන් මාධ්‍යයන් වෙත කළ ප්‍රකාශ මහත්  විවාදයන්ට තුඩු දුන්නේය. ඔහුට ශ්‍රී ලංකාවෙන් ප්‍රමාණවත් අනුග්‍රහයක් නොලැබුණු බවට ඔහු චෝදනා කළේය. එහෙත්  ඔහු නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව පැවති මාධ්‍ය හමුවක දී තමන් එම ප්‍රකාශයන් කිරීමට ඉක්මන් වූ බව පවසමින් කනගාටුව පළකර සිටියේය.

මේ අතර ඇමරිකාවේ මේ වනවිට පුහුණුවීම් කරමින් සිටින ශ්‍රී ලංකා උස පැනීමේ ක්‍රීඩක උෂාන් තිවංක පෙරේරා  ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට සහ ආසියානු ක්‍රීඩා උළෙලට ‍සහභාගි වන බවට සනාථ කර තිබේ. එහෙත්  ඇමරිකාවේ සිටින ශ්‍රී ලංකා දුර පැනීමේ ශූර ධනුෂ්ක සඳරුවන් එම තරගාවලි සඳහා  සහභාගි වන බවට මේ දක්වා සනාථ කර නොමැත.


අදහස් (0)

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට යන්න යුපුන් අබේකෝන් බෑ කියයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.