Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ඉන්දීය සංචාරයට අපෙන් බාධාවක් නෑ - මහේල

ඉන්දීය සංචාරයට අපෙන් බාධාවක් නෑ - මහේල

editorial - 2021 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමක් ඉන්දීයාවේ තරග සංචාරයකට සහභාගි වීමට දරන උත්සාහයට ජාතික ක්‍රීඩා සභාව බාධා නොකරන බව එහි සභාපති මහේල ජයවර්ධන මහතා පවසයි.  ලංකාදීපය කළ  විමසුමක දී ඔහු පැවසුවේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ඉන්දියාව බලා යන ශ්‍රී ලංකා කණ්ඩායමට මාර්ගෝපදේශ කිහිපයක් හඳුන්වා දීමට ජාතික ක්‍රීඩා සභාව ගන්නා උත්සාහයට වැරදි අර්ථකතන ලැබී ඇති බවයි. 

ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ පතියලා නුවර දී මෙම 25 සිට 26 වැනිදා දක්වා පැවැත්වෙන ඉන්දීය අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා තරගාවලියට  ක්‍රීඩක ක්‍රීඩිකාවන් 16 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් යැවීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය තීරණය කළේය. ඒ සඳහා මීටර් 10x4 සහය දිවීමේ කාන්තා ශ්‍රී ලංකා කණ්ඩායමක් ද තෝරාගනු ලැබ තිබිණ. 

මෙම තරග සංචාරය සඳහා ජාතික ක්‍රීඩා සභාවේ අනුමැතිය පළවී නැතැයි දැක්වෙන වාර්තා පිළිබඳව ලංකාදීපය කළ විමසුමේදී මහේල ජයවර්ධන මහතා මෙසේද පැවසීය.

“අපට මෙම තරග සංචාරය නවත්වන්න කිසිදු උවමනාවක් නෑ. දැනට මම දන්න එකම කාරණය මේ සංචාරයට අනුමැතිය ලබා ගැනීමට ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව වෙත ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරිපත් කිරීම පමණයි. “

“මේ රටවල් දෙකේම කොවිඩ් අවදානම ඉතා විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ නිසා මෙතරම්  කණ්ඩායමක් ඉන්දීය තරග සංචාරයට සහභාගි කළ යුතුද යන්න ගැනත් අපේ අවධානයට යොමු වුණා.“ යයිද හෙතෙම පැවසීය. 

“ක්‍රීඩා සභාවේ අදහස වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සංඛ්‍යාව 8 ක් වූයේ නම් වඩාත් සුදුසුයි කියලා. බාධක දිවීමේ ක්‍රීඩිකා නිලානි රත්නායක ඔලිම්පික් යන්න ඉන්නවා නම්, මේ තරග සංචාරයට අරන් යන්න ඕනම කෙනෙක්ද කියලත් අපේ අවධානය යොමු වුණා. අපේ එකම ඉල්ලීම වුණේ පවතින අවදානම ගැන හිතලා ශ්‍රී ලංකා කණ්ඩායම අඩු කරන්න කියන එක විතරයි.“ යයිද මහේල ජයවර්ධන මහතා පැවසීය. 

ටෝකියෝ ඔලිම්පික් සුදුසුකම් ලබාගැනීමට ඉතා ආසන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන් කීප දෙනකු පමණක් ඉන්දීය තරග සංචාරයට සහභාගි කිරීම වඩාත්ම ප්‍රායෝගික බවද  මහේල ජයවර්ධන මහතා අවධාරණය කර සිටියේය. 

ජාතික ක්‍රීඩා සභාව ඉන්දීය තරග සංචාරය සාර්ථක කර ගැනීම සඳහා මාර්ගෝපදේශ කිහිපයක් හඳුන්වා දී තිබේ. ඒ යටතේ සංචාරක ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම කොළඹ සුගතදාස හෝටලයේ ජෛව බුබුලක් ලෙස දින ගණනාවක් රඳවා ගනිමින් ඉන්දීය තරග සංචාරයට යොමු කිරීමටත් ජාතික ක්‍රීඩා සභාව යෝජනා කර තිබේ. 

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය වඩාත් දුෂ්කරතාවයට පත්ව ඇත්තේ  කසකස්තාන තරග සංචාරය ද අසාර්ථකවීම හේතුවෙනි.  හෙට සහ අනිද්දා (19-20) කසකස්තානයේ දී පැවැත්වීමට නියමිත මලල ක්‍රීඩා  තරගාවලිය සඳහා ද ශ්‍රී ලංකාව ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනකුගේ කණ්ඩායමක් එහි යැවීමට දැරූ උත්සාහය වීසා ලබා ගැනීමට දැරූ උත්සාහය නිසා අත්හැර දැමීමට සිදුවිය.  ඊට ආසන්නම හේතුව වූයේ කොවිඩ් සීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරන ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවේ රටවලට වීසා නිකුත් කිරීමට එරට ආගමන හා විගමන බලධාරීන් උනන්දු නොවීමය. 

මලල ක්‍රීඩා සංගම් ආරංචි මාර්ග සඳහන්  කරන අන්දමට ඉන්දීය තරග සංචාරය සඳහා ද මේ වනවිට බාධාවන් කීපයක් එල්ලවී තිබේ.  
මෙම අවස්ථාවේ දී ඉන්දියාවට ඇතුළුවීම ඉතා අවදානම් සහගත ක්‍රියාවක් නිසා ඒ සඳහා මෙරට සෞඛ්‍ය බලධාරීන්ගෙන් හැරෙන්නට ජාතික කොවිඩ් මර්දන ඒකකයෙන්ද අනුමැතිය ලබා ගැනීමට සිදුව ඇතැයි වාර්තාවේ. 

ඉන්දීය සංචාරය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට අහිමි වුවහොත් ‘ටෝකියෝ’ ඔලිම්පික් උළෙල සඳහා නිර්දේශ ලබාගත හැකි වෙනත් ජාත්‍යන්තර තරගාවලියකට සහභාගි වීමේ  අවස්ථාව ශ්‍රී ලංකාවට හිමි නොවේ.  

ජපානයේ ‘ටෝකියෝ’ නුවරදී ලබන ජූලි 23 වැනිදා සිට අගෝස්තු 10 වැනිදා දක්වා පැවැත්වෙන ගිම්හාන ඔලිම්පික් උළෙල සඳහා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්දේශ කර ගැනීමට ලැබෙන අවසන් දිනය ජූනි මස 29 වැනිදාට යෙදී තිබේ. 


අදහස් (0)

ඉන්දීය සංචාරයට අපෙන් බාධාවක් නෑ - මහේල

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.