Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball මූලික වටයේ තරග 3 දීම ශ්‍රී ලංකාවට පරාජය

මූලික වටයේ තරග 3 දීම ශ්‍රී ලංකාවට පරාජය

නාමල් පතිරගේ - 2019 සැප් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉරානයේ ටෙහෙරාන් නුවරදී දැන් පැවැත්වෙන ආසියානු වොලිබෝල් (පිරිමි) ශූරතා තරගාවලියේ මූලික වටයේදී මුහුණදුන් තරග තුනෙන්ම පරාජයට පත්වූ ශ්‍රී ලංකාව එහි සුපිරි අට වටයට පිවිසීමේ අවස්ථාව අහිමි කරගත්තේය.

මූලික වටයේදී පැවැති තුන්වැනි තරගයෙන් ද ශ්‍රී ලංකා කණ්ඩායම කටාරය හමුවේ පරාජය වූයේ වට 3-0 කිනි. මූලික වටයේදී සත්කාරක ඉරානය සහ ඕස්ට්‍රේලියාවට හමුවේත් ශ්‍රී ලංකාව පරාජයට පත්විය. ඒ අනුව ශ්‍රී ලංකාවට මෙතැන් සිට තරගාවලියේ ශ්‍රේණිගත කිරීමේ තරග වටයට මුහුණදීමට සිදුවනු ඇත.

මූලික වටයේදී ශ්‍රී ලංකාව කිසිදු තරග වටයක් ජය ගැනීමට සමත් නොවූවත් ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති තරගයේ දෙවැනි වටයේදී ලකුණු 30-32 ක් ලෙස තියුණු තරගයක් දීමට සමත් විය.

රුපියල් මිලියන හයකට ආසන්න වියදමක් දරමින් ආසියානු වොලිබෝල් (පිරිමි) ශූරතා තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් (පිරිමි) කණ්ඩායමට කියුබානු පුහුණුකරු මැනුවෙල් තෝරෙස් මහතාගේ සේවය ලැබී තිබේ.

ඉරානයේදී 2011 වසරේ පැවැති තරගාවලියේදී සුපිරි අට වටයට පිවිසීම ආසියානු ශූරතා (පිරිමි) තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව මෙතෙක් අත්කරගත් ඉහළම ස්ථානයයි. ඒ අතර අවසන් වරට පැවති (2017 ග්‍රෙසින් ඉන්දුනීසියා) තරගාවලියේදී ශ්‍රී ලංකාව 14 වැනි ස්ථානය ලැබීය. රටවල් 16 ක් මෙවර තරගාවලියට සහභාගි වී සිටියි.

දෙසැම්බර් මාසයේදී පැවැත්වෙන 13 වැනි සාග් ක්‍රීඩා උළෙලේ වොලිබෝල් (පිරිමි) රන් පදක්කමට  ඇසගසා සිටින ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ දක්වන දක්ෂතා ඊට යම් තක්සේරුවක් ලබාගැනීමට ලැබෙන අවස්ථාවක් බඳුය.

සාග් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ප්‍රතිවාදියා බවට පත්ව සිටින ඉන්දියාව දැන් ටෙහෙරාන් නුවරදී පැවැත්වෙන ආසියානු ශූරතා තරගාවලියේදී කසකස්තානයට (3-2) සහ ඕමානයට (3-1) එරෙහිව මූලික වටයේ තරග දෙකක් ජය ගනිමින් අවසන් අට දෙනා අතරට පිවිසීමට ඉහළම බලාපොරොත්තු තබා සිටියි.

ඒ අතර සාග් ක්‍රීඩා උළෙලෙට සහභාගි වන පාකිස්තානය ද ඉන්දුනීසියාවට (3-2) හා කුවේටයට (3-1) එරෙහිව තරග දෙකක් මූලික වටයේ ජයගෙන සුපිරි අට වටයට පැමිණ සිටීම කැපී පෙනේ. ඉන්දියාවේදී 2016 වසරේදී පැවැති අවසන් සාග් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව පාකිස්තානයට පරාජය කිරීමට සමත් විය.

මේ අතර සුපිරි අට වටයෙන් ඉවතට ගිය ශ්‍රී ලංකාව හෙට (17) කසකස්තානයට එරෙහිව ද, අනිද්දා (18) පාකිස්තානයට එරෙහිව ද, 16 වැනිදා ස්ථානය දක්වා වන ශ්‍රේණිගත වටයේ තරග වැදීමට නියමිතය.


ශ්‍රී ලංකාව සහභාගි වූ මූලික වටයේ තරග ප්‍රතිඵල:

■ ඉරානයට එරෙහිව වට 3-0ක පරාජයක් (15/25, 17/25, 23/25)
■ ඕස්ට්‍රේලියාවට එරෙහිව වට 3-0ක පරාජයක් (15/25, 30/32, 13/25)
■ කටාරයට එරෙහිව වට 3-0ක පරාජයක් (21/25, 14/25, 15/25)

 


අදහස් (0)

මූලික වටයේ තරග 3 දීම ශ්‍රී ලංකාවට පරාජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.