Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වඩාත් අමාරු කොටස හෙටයි

වඩාත් අමාරු කොටස හෙටයි

දමින්ද විජේසූරිය - 2019 අගෝ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

“ජයග්‍රහණය අත්කරගැනීමට පෙර සතුට සමරන්නට එපා” යයි කියමනක් තිබේ. මෙය බොහෝ විට මලල ක්‍රීඩකයන් අතරේ ජනප්‍රිය කියමනක් වුවද ක්‍රිකට් ක්‍රීඩාවේදීත් ඒ සඳහා උදාහරණ ඕනෑවටත් වඩා තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩබලන පුහුණුකරුවා වන රුමේෂ් රත්නායක මහතාට ඒ ගැන බොහෝ අත්දැකීම් තිබේ. 1988 බෙන්සන් ඇන්ඞ් හෙජස් කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක එකේ පන්දු යවන්නා වූ රුමේෂ් රත්නායක එවැනි සිදුවීම් ගණනාවකට මුහුණ දුන්නේය. එබැවින් “අපි තාම මේ තරගය දිනලා නෑ....හෙටත් අමාරු වැඩ කොටසක් තියෙනවා” යයි ශ්‍රී ලංකා කණ්ඩායමට අවවාද කිරීමට ඔහු නොපැකිළෙයි.
 
“අපි තාම මේ තරගය දිනලා නෑ....හෙටත් අමාරු වැඩ කොටසක් තියෙනවා” යයි ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය නිමාවේදී රුමේෂ් රත්නායක මහතා කීවේ ජයග්‍රහණය සඳහා හෙට දිනයේදී තවත් ලකුණු 135 ක් ලබාගත යුතු බැවිනි.

“නවසීලන්තය පන්දුවට පහර දෙන වෙලාවෙදිත් ඒක අමාරු බව අපි දැනගෙන හිටියා. අපි අපේ පන්දු යවන්නන්ට කිව්වේ කඩුලු දවාගැනීමත් ලේසි වෙන එකක් නෑ කියලයි....ඒකට හේතුව තමයි එතැන (පිටිය මැද) ස්ථාවර වෙන කෙනා ලකුණු ලබාගන්න එක..එයා මුල් පෙළ පිතිකරුවෙක් වුණත්, මැද පෙළ හෝ පසුපෙළ පිතිකරුවෙක් වුණත්....එතැන ස්ථාවර වුණොත් ලකුණු ලබාගන්න පුළුවන්”

“අද සිද්ධ වුණෙත් ඒකයි...” යයි රත්නායක මහතා පැවසීය.

නවසීලන්ත දෙවැනි ඉනිමේදී පළමු කඩුලු පහම ලකුණු 98 කට බිඳ වැටිණ. ලෝකයේ විශිෂ්ටතම පිතිකරුවන් වන කේන් විලියම්සන් සහ රොස් ටේලර් දෙදෙනාම දැවීගිය පිතිකරුවන් පස්දෙනා අතරේ සිටියහ. එහෙත් කේන් හෝ රොස් තරමට පිතිකරුවන් වශයෙන් කීර්තියක් නැති...බී.ජේ. වොට්ලිං, ටිම් සවුති සහ විලියම් සමර්විල් නවසීලන්ත පිලට නොසිතූ ලකුණු සංඛ්‍යාවක් එකතු කළහ.

“අපි වුණත් දැන් කිසිවකු නොදැවී ලකුණු 133 ක් ලබා සිටියාට...හෙට දවසේ තියෙන්නේ පහසු කාරියක් නෙමේ. විශේෂයෙන්ම අලුතෙන් මැද්දට යන පිතිකරුවෙකුට ඒක ටිකක් අසීරු අභියෝගයක්....ඒත් කොල්ලො ටික ඉන්නේ පුදුමාකාර අධිෂ්ඨානයකින්....අපි අසාර්ථක වෙන්න බය නෑ....ඒ නිසා අපි බය නැතිව ඉදිරියටම යනවා...කරන්න තියෙන දේ කරනවා....” යයිද රත්නායක මහතා පැවසීය.

ලකුණු 268 ක් හඹා යාමේ අභියෝගයට මුහුණ දී සිටින ශ්‍රී ලංකා පිල වෙනුවෙන් දිමුත් කරුණාරත්න (නොදැවී 71) සහ ළහිරු තිරිමාන්න (නොදැවී 57) එක්ව ගොඩනැංවූ සම්බන්ධතාව මිල කළ නොහැකිය. එම ලකුණු සංඛ්‍යාව ගලා ආවේ පිත්තේ මැද්දෙන් නොවුණත් ඉවසීම, කල්පනාකාරීවීම මෙන්ම බුද්ධිමත්ව අවස්ථාවට මුහුණ දීම යන සියල්ලම එහි ගැබ්වී තිබිණ. වාසනාවත් නොඅඩුවම එහි තිබුණේය.

නවසීලන්ත පිතිකරුවන් වුවද ලකුණු ලබාගත්තේ ඒ ආකාරයෙනි. අවසන් පිතිකරුවන් හය දෙනා වූ වොට්ලිං, සෑන්ට්නර්, සවුති, සමර්විල්, බෝල්ට් සහ පතෙල් එකතු කළ ලකුණු 192 වෙනුවෙන් පැය පහකට වැඩි කාලයක් ඔව්හු මිඩංගු කළහ.

ශ්‍රී ලංකා පිතිකරුවන්ට ඉලක්කය හඹා යාමට වන්නේත් එලෙසිනි. ලකුණු 268 ඉලක්කය කරා ළඟා විය හැකි නමුත් එය පහසුවෙන් කළ නොහැක්කක් බවත් ඒ වෙනුවෙන් වෙහෙසී කටයුතු කළ යුතු බවත් පවසන පුහුණුකරුවා...දකුණු අප්‍රිකානු සංචාරයේ සිට ශ්‍රී ලංකා පිතිකරුවන් සිව්වැනි ඉනිමේදී දක්වන සාර්ථකත්වයට හේතුව පිතිකරුවන් තමන් කෙරේ විශ්වාසය තැබීම බවත් කියයි.

අවසන් වරට ශ්‍රී ලංකාවේදී පැවැති ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකාවට අත්වූයේ 3-0 ක පරාජයකි. එංගලන්තයට එරෙහිව පැවැති එම තරගාවලියේදී ශ්‍රී ලංකා පිලට ලකුණු 300 ඉක්මවූ ඉලක්ක හඹා යාමට සිදුවිය. එහෙත් එම අවස්ථා තුනේදීම ලකුණු 211 කින්, ලකුණු 57 කින් සහ ලකුණු 42 කින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය විය.

කෙසේ වෙතත් දකුණු අප්‍රිකාවේදී පැවැති තරගාවලියේදී ඩර්බන් නුවරදී ලකුණු 304 ක් සාර්ථකව හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගයෙන් ඓතිහාසික ජයක් ලබාගත්තා පමණක් නොව පෝර්ට් එළිසබෙත්හිදී පැවැති තරගයත් ජයගත්තේ සිව්වැනි ඉනිමේදී කඩුලු 2 කට ලකුණු 197 ක් ලබාගනිමිනි.

“ඒ තරග දෙකින් එකකදී කුසල් පෙරේරාගේ ඉනිම නොතිබුණා නම් අපට ඒ දේ කරන්න ලැබෙන්නේ නෑ...මා හිතන්නේ ඒකට හේතුව තමන් කෙරේ ඇතිකරගෙන තිබෙන විශ්වාසයයි....මා හිතන්නේ හෙට වුණත් ඒ විශ්වාසය අපි වෙනුවෙන් වැඩි වැඩක් කරාවි” යයිද පැවසීය.

 


අදහස් (0)

වඩාත් අමාරු කොටස හෙටයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.