Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පුහුණුකරු - නායකයා විවාහක යුවළක් වගේ

පුහුණුකරු - නායකයා විවාහක යුවළක් වගේ

editorial - 2019 දෙසැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට ගියේ වසර තුනක කාලයක් පාකිස්තානු පිලේ පුහුණුකරුවා වශයෙන් සිටි මිකී ආතර් මහතාගේ සේවය ලබා ගනිමිනි. අන්තර්ජාතික මට්ටමේ පුහුණුකරුවකු වශයෙන් ජයග්‍රහණ රැසකට හිමිකම් කියන මිකී ආතර් මහතාගේ ගුරුහරුකම් මත පාකිස්තානුවෝ 2017 දී ශූරයන්ගේ කුසලානය දිනාගත්හ.

ඉන් අනතුරුව පාකිස්ථානය එක දිගට විස්සයි විස්ස තරග 11 ජයග්‍රහණය කළ අතර ලෝක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අතරේ අංක 8 හෝ 9 සිට පළමු ස්ථානයට පත්ව සෑහෙන කාලයක් එම ස්ථානය ආරක්ෂා කරගත්තේය. ‘ද සන්ඬේ ටයිම්ස්’ පුවත්පත සමග මිකී ආතර් මහතා කළ සංවාදයේ දෙවැනි කොටස මෙසේ දිග හැරෙයි


ප්‍රශ්නය: ඔබේ මංගල ජාත්‍යන්තර පුහුණුකරු වගකීම දරපු කාලය තුළ දකුණු අප්‍රිකානු කණ්ඩායම තුළ ඇති කරපු පරිවර්තනය ගැන සවිස්තර පැහැදිලි කිරීමක් කළ හැකිද?
● ඒක හරිම සිත් ගන්නා සුළුයි. 2005-2006 වසරේදී ඕස්ට්‍රේලියාවට ගිය අපේ පළමු සංචාරය මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. අපි ගියේ ගොඩාක් එඩිතර හදවත් සමගින්. අපි ගියේ ඔවුන් පරාජයට පත්කිරීමටයි. මේ තරුණ දකුණු අප්‍රිකානු කණ්ඩායමට පළපුරුදු ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් හිටියා. ඒ වන විටත් ෂෝන් පොලොක් වගේම ජැක් කලීස් සහ මාර්ක් බවුචර් ත් හිටියා. අපි ඒ සංචාරයේදී පොඩි පට්ටම් වුණා. අපිට දිගින් දිගටම නරක විදිහට පහර වැදුණා. ඒත් අපි හැමෝම උත්සාහයක් ගත්තා.

එක් දින තරගාවලිය අතරතුරේදී ග්‍රේම් සහ මම දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ එවකට ප්‍රධාන විධායක නිලධාරියා වුණු ජෙරල්ඞ් මජෝලා එක්ක පර්ත්වලදි පොඩි අඩියක් ගැහුවා. මජෝලා එදා පර්ත්වලට ආවේ අපට පොඩි සහයෝගයක් දීමටයි. ඉතින් එදා අපි එකට වාඩිවෙලා සැළසුමක් සකස් කළා. අපි එදා යථාර්ථවාදී කාලරාමුවක් සකස් කළා.

ඒ 2006 වසර. 2008-2009 වසරේදී අපි ආයෙත් පාරක් ඕස්ට්‍රේලියාවට එනවා කියලා අපි දැනගෙන හිටියා. ඒ අවුරුද්දෙම එංගලන්තයේදී එංගලන්තය සමග, බංග්ලාදේශයේදී බංග්ලාදේශය සමග වගේම ඉන්දියාවේදී ඉන්දියාව සමගත් තරගාවලි තිබ්බා. ඒක අපට රටින් පිට තරගවදින දැවැන්ත සංචාරයක් වුණා. මේ සියලුම තරගාවලිවලට සහභාගි වෙලා, එක්සත් වීමෙන් පස්සේ එංගලන්තයට ගිහින් ජයග්‍රහණය කරන පළමු වැනි දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනවා කියන ඉලක්කය සමගින් අපි අපේ සැළසුම් සකස් කළා.

ඊට පස්සේ අපට ඕනෑ වුණේ ඕස්ට්‍රේලියාවේදී  ජයග්‍රහණය කරන පළමු දකුණු අප්‍රිකානු කණ්ඩායම වීමටයි. මේ ඉලක්ක සකස් කරපු අපි සෑම දෙයක් ගැනම අවධානය යොමු කළා. අපි ගත්ත සෑම තීරණයකදීම විශේෂයෙන්ම මේ තරගාවලි දෙක ගැන අවධානය යොමු කළා. ඊට හේතුව තමයි අපි අපේ රටේදී ආධිපත්‍යය පැතිරවීම. ඒත් රටින් පිටගියාම, අපිට දැනිච්චි දෙයක් තමයි අපට ලෝකයේ අංක එක වෙන්න වුවමනා නම්, අපිට අභියෝග තියෙන්න ඕනේ කියන එක.

අපි එංගලන්තයේදී වගේම පාකිස්තානායේදීත් ජයග්‍රහණය කළා. ඒක හරියට අපි කරපු වැඩ බොහෝමයක කූඨප්‍රාප්තිය වගෙයි. ඒ සඳහා අපි එකට වාඩිවෙලා සැළසුම් සකස් කරපු දින සිට අවුරුදු එකහමාරක්, හරියටම කිව්වොත් අවුරුදු දෙකයි තුන්කාලක් ගතවුණා. ශ්‍රී ලංකා කණ්ඩායම සමගත් මට කරන්න ඕනේ අන්න ඒ වගේ දෙයක් තමයි.

 

ප්‍රශ්නය: පුහුණු කිරීම කියන්නේ මොකක්ද? කණ්ඩායමේ සාර්ථකත්වයට පුහුණුකරුවෙකුගේ කාර්යභාරය කොතරම් වැදගත්ද?
● මට හිතෙන හැටියට නම් ජාත්‍යන්තර පුහුණුකිරීම කියන්නේ ක්‍රීඩකයන්ට වර්ධනය වීමට සහ වඩාත් හොඳ වීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමයි. නමුත් විශිෂ්ඨත්වය කියන්නේ කේවල් කළ නොහැකි දෙයක්. ඉතින් ජාත්‍යන්තර තලයේදී අපි කරන සෑම දෙයකින් සිද්ධ වෙන්නේ ඔවුන්ව හොඳ ක්‍රීඩකයන් කිරීම සහ පද්ධතියේ කොටසක් බවට පත්වෙනවා වෙනුවට හොඳ පද්ධතියක් බවට පත්කිරීමයි.

පුහුණුකරු විසින් ඉටු කරන භූමිකාව විශාල වැදගත්මක් ගන්නවා. පරිසරය නිර්මාණය කරන්නේ පුහුණුකරු විසින්. එකිනෙකට වෙනස් මාදිලි තුනක් යටතේ ක්‍රීඩකයන් තාක්ෂණිකව, මානසිකව සහ ශාරීරිකව වර්ධනය කිරීම පුහුණුකරුගේ වගකීමක්. කණ්ඩායම ගොඩනැඟීම, ඉලක්ක සැකසීම සහ ඒවා සාක්ෂාත් කරගැනීම පුහුණුකරුවන්ගේ වගකීමක්.

පුහුණුකරුවාට කළ නොහැකි එකම දේ තමයි පිටිය මැදට යාම. අන්න එතැනදී තමයි නායකයා තීරණාත්මක වෙන්නේ. ඉතින් පුහුණුකරු සහ නායකයා කියන දෙන්නා එක දර්ශනයකට එන්න ඕනේ. ඔවුන් දෙදෙනා එක් ඉලක්කයක් සඳහා බැඳී සිටිය යුතු අතරම කණ්ඩායම නිවැරැදි දිශාවට ගමන් කරවීමට සඳහා ඔවුන් එකට එක්ව කටයුතු කළ යුතුයි.

අපට දිමුත් කරුණාරත්න ටෙස්ට් සහ එක්දින නායකයා ලෙසිනුත්, ලසිත් මාලිංග විස්සයි විස්ස නායකයා ලෙසිනුත් ඉන්නවා. අපි කරන හැම දෙයක්ම පූර්ණ එක්සත් භාවයෙන් කරන්න ඕනේ. නායකයාගේ යෙදවුම් සමගින් ක්‍රීඩකයන් සූදානම් කිරීමේ සහ පිටියෙන් පිටත කළ හැකි සෑම දෙයක්ම කිරීමේ වගකීම මම බාරගන්නවා. අපි කණ්ඩායම නායකයාට බාර දෙන කොට, ක්‍රීඩකයන්ව පිටියෙන් ඔබ්බට රැගෙන ගොස් උපක්‍රමවලට අනුව නූල් ඇදීමේ සම්පූර්ණ වගකීම නායකයා සතු වෙනවා. මම පිටියෙන් පිටත ඉඳගෙන ඔහුට එම සහයෝගය ලබාදෙනවා.


ප්‍රශ්නය: එම සන්දර්භය තුළ පුහුණුකරුවා සහ නායකයා අතර ඇති සම්බන්ධතාවය කෙතරම් වැදගත්ද?
● ඒක හරියට විවාහය වගේ දෙයක්. එය සැබැවින්ම වැදගත්.
විවිධ දේ සම්බන්ධයෙන් ඔබ එකම පිටුවක සිටීම අතිශයින්ම වැදගත්. ඔබට එකම දර්ශනයක් තිබීම අතිශයින්ම වැදගත්. ඔබට කණ්ඩායම රැගෙන යාමට අවශ්‍ය දිශාව පැත්තෙන් ගත්තාම, ඔබ සම්පූර්ණයෙන්ම එකම පිටුවක සිටීම අතිශයින්ම වැදගත්. එකේ තේරුම ඔබ සෑම දෙයකටම එකඟ වෙනවයි කියන එක නෙමෙයි. ඒත් මේ සාකච්ඡා ඔබ දෙදෙනා අතර විවෘතව සහ අවංකව සිද්ධ විය යුතුයි. මොකද ඔබට එය කළ හැකි නම්, ඔබ සැබෑ ශක්තිමත් බැදීමක් ගොඩ නඟා ගන්නවා. ඔබ විශ්වාසය පිළිබඳව සැබෑ ශක්තිමත් බැඳීමක් ගොඩ නගා ගන්නවා. ඒ වගේම තමයි ඔබට එවැනි දෙයක් තියෙනවා නම්, ඔබට ඕනෑම කන්දක් තරණය කරන්නට පුළුවන්.


ප්‍රශ්නය: විස්සයි විස්ස ලෝක කුසලානය එළැඹ ඇති තත්ත්වයක් තුළ ඒ සඳහා සූදානම් වීම සඳහා ශ්‍රී ලංකාව කුමක් කළ යුතුයි කියාද ඔබ සිතන්නේ?
● මම හිතන්නේ ඉන්දියානු සංචාරය තරමක වැදගත්කමක් ගන්නවා.
කොන්දේසි සම්පූර්ණයෙන්ම වෙනස් කියලා මම දන්නවා. නමුත් ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුතු මූලික කණ්ඩායමක්, එය ක්‍රීඩකයන් 18 ක් කියලා කියන්න පුළුවන්, ඉතිරි කාලය පුරාම අපට භාවිතයට ගත හැකි පදනමක් ලබාගැනීමේදී එය වැදගත් වෙනවා. ඔවුන්ට ඕස්ටේ්‍රලියාවේදී ක්‍රීඩා කිරීමට හැකියාවක් තිබිය යුතුයි. ඒත් අවාසනාවකට වගේ අපට කළ හැකි දේ අපට පවසන ආකාරයෙන්ම ඔවුන්ව සූදානම් කිරීමට අපට සිදු වෙනවා. එහෙත් මේ සංචාරයේදී භූමිකාවක පැහැදිලි කිරීම සහ ඉලකක් සැකසීම අතිශය වැදගත්. ඉතින් අපට මාස 8 ක් ලැබිලා තියෙනවා. අපට හදිසියෙම එළියට යන්න බැහැ. ඒ සඳහා සැළසුම් සකස් කිරීම දැන් ආරම්භ කළා.

 

ප්‍රශ්නය: පුහුණුකරුවෙක් වශයෙන් ඔබගේ දර්ශනය කුමක්ද?
● මම සෑම වෙලාවකම කියන්නේ එය විශිෂ්ටත්වයේ පරිසරය නිර්මාණය කිරීම බවයි. විශිෂ්ටත්වය එකිනෙකට වෙනස් ආකාර රැසකින් එනවා. එය යෝග්‍යතාවය, ආහාර සහ පුරුදු තුළින් එනවා. එය ඔබට තාක්ෂණික, මානසික සහ ශාරීරිකව ලැබෙනවා. මේක හරිම වැදගත්.
මම යෙදුම් ගොඩාක් පාවිච්ිච කරනවා. මම ක්‍රීඩකයන්ට වැඩීම සඳහා මුල් වගේම පියාසර කිරීම සඳහා පියාපත් ලබාදීමට කැමැතියි. ඔවුන්ගේ මුල් කෙන්ද්‍රගත වෙලා තියෙන්නේ ඔවුන්ගේ තාක්ෂණය මතයි. පියාපත්, ඒවා හැමෝගෙම වෙනස්. ඔබ ඔවුන්ට ඔවුන්ගේ ගති ලක්ෂණ සහ කුසළතාවයන් අනුව වර්ධනය වීමේ නිදහස ලබාදිය යුතුයි. නමුත් ඔබේ පදනම සහ ඔබේ මූලයන් සෑම  විටම තාක්ෂණය තුළට කාවැදී තිබිය යුතුයි.


ප්‍රශ්නය: ඔබේ වෘත්තියේ පෞද්ගලික දක්ෂතා මොනවාද?
පිළිතුර: ගොඩාක් තියෙනවා. දකුණු අප්‍රිකාව සමගින් පළමු වරට එංගලන්තය ජයගැනීම මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. පළමු වතාවට ඕස්ට්‍රේලියාව ජයගැනීම මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මේ රටවල් දෙකම ජයගත් පළමු දකුණු අප්‍රිකානු කණ්ඩායම බවට අපේ කණ්ඩායම පත්වුණා. ඕස්ට්‍රේලියාව ලකුණු 434 ක් ලබාගත්තාම ඔවුන්ව ලුහුබැඳ ගොස් ලකුණු 438 ක් ලබාගැනීම මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.

ඊළඟට කිසිම සැකයක් නොමැතිව මගේ හොඳම දක්ෂතාවයක් තමයි පාකිස්ථානය සමග ශූරයන්ගේ කුසලානය ජයගැනීම. ඊළඟට පාකිස්ථානය එක දිගට විස්සයි විස්ස තරග 11 ජයග්‍රහණය කළා. ඒ සමගම පාකිස්ථානය ලෝක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල අංක 8 හෝ 9 සිට පළමු ස්ථානයට පත්වෙලා සෑහෙන කාලයක් එම ස්ථානය ආරක්ෂා කරගත්තා. ඒවා තමයි දක්ෂතා.

සෑම කණ්ඩායමක් සමගින්ම දක්ෂතා දක්වලා තියෙනවා. දකුණු අප්‍රිකාව ගත්තොත් මම ඉන්දැද්දි අපි සෑම මාදිලියකින්ම ලෝකයේ අංක එක බවට පත්වුණා.

 


අදහස් (0)

පුහුණුකරු - නායකයා විවාහක යුවළක් වගේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.