Last Update  :  2024-04-26 17:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මහේෂ් පැරලිම්පික් කඩුල්ල පනී

මහේෂ් පැරලිම්පික් කඩුල්ල පනී

editorial - 2021 මැයි මස 08 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(දමින්ද විජේසූරිය)

විශේෂ අවශ්‍යතා සහිත ඔරු පැදීමේ ක්‍රීඩකයකු වන මහේෂ් ජයකොඩි, මේ වසරේ ටෝකියෝ නුවරදී පැවැත්වීමට නියමිත පැරලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලබා තිබේ. ටෝකියෝ නුවරදී පැවැති ආසියානු - ශාන්තිකර කලාපීය පැරලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී පිරිමි කේවල (ද්විත්ව හබල්) ඉසව්වේ පළමු ස්ථානය ලබාගනිමින් මහේෂ් ජයකොඩි පැරලිම්පික් උළෙලට සුදුසුකම් ලබාගත්තේය. 

ටෝකියෝ නුවරදී පැවැති ආසියානු - ශාන්තිකර කලාපීය පැරලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලිය ඊයේ (7 වැනිදා) නිමාවට පත්විය. 

පිරිමි කේවල (ද්විත්ව හබල්) ඉසව්වේ අවසන් තරගයේ ආරම්භයේ සිටම මහේෂ්ගේ ජයග්‍රහණය තහවුරු වන බව දක්නට තිබිණ. ඔහු තරගයේ ආරම්භයේ සිට අවසානය දක්වාම සෙසු තරගකරුවන්ට වඩා ඉදිරියෙන් සිටියේය. උස්බෙකිස්තානයේ එගැම්බර්දිව් කොල්මොරාඩ් දෙවැනි ස්ථානයට පත්වූ අතර තායිලන්තයේ බී. කොම්නුජන් තුන්වැනි ස්ථානය හිමිකර ගත්තේය. 

මෙම තරගාවලියේදී පැරලිම්පික් උළෙලට සුදුසුකම් ලබාගත් පළමු ක්‍රීඩකයා බවට පත්වීමටද මහේෂ්ට හැකිවිය. මහේෂ්, වසර 2019 දී පැවැති ආසියානු පැරලිම්පික් තරගාවලියේදී රිදී පදක්කමක් හිමිකරගත් ක්‍රීඩකයකු වන අතර දේශීය තරග රැසකදී පදක්කම් දිනා ඇති ක්‍රීඩකයෙකි. 

වෛද්‍ය සමිතා සමන්මලී කාන්තා කේවල (ද්විත්ව හබල්) ඉසව්වේදී තරග වදිමින් ජපානයේ ටොමෝමි ඉචිකාවාට පමණක් දෙවැනි වූවාය. 2019 ඔරු පැදීමේ ලෝක ශූරතාවලියේදී 14 වැනි ස්ථානය අත්කරගත් ඉචිකාවා මෙම ඉසව්වේදී තරග වැදුණු වඩාත්ම පළපුරුදු ක්‍රීඩිකාවයි. 

වෛද්‍ය සමිතා සමන්මලී, වසර 2019 දී, දකුණු කොරියාවේ චුන්ගිජුහිදී පැවැති ආසියානු පැරා ඔරුපැදීමේ ශූරතාවලියේදී පදක්කමක් දිනාගනිමින් වාර්තාවක් පිහිටවූ ක්‍රීඩිකාවකි. 

ටෝකියෝ නුවරදී පැවැති ආසියානු - ශාන්තිකර කලාපීය ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා කේවල (ද්විත්ව හබල්) ඉසව් වෙනුවෙන් ක්‍රීඩකයකු සහ ක්‍රීඩිකාවක ඉදිරිපත් කළ ශ්‍රී ලංකා කණ්ඩායම 5 දෙනකුගෙන් සමන්විත විය. කපිතාන් එම්.එම්.අලගියවන්න මහතා කණ්ඩායමේ පුහුණුකරුවා වශයෙන් කටයුතු කළේය. කපිතන් සී.එච්. ලියනගේ මහතා සහාය පුහුණුකරුවා වූ අතර ලසන්ත වැලිකළ මහතා කළමණාකරු ලෙසින් කටයුතු කළේය. 

මහේෂ් ජයකොඩි පැරලිම්පික් උළෙලට සුදුසුකම් ලබාගැනීමත් සමගින් මේ වසරේදී පැවැත්වෙන ටෝකියෝ පැරලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලාංකිකයෝ සිව් දෙනක් සුදුසුකම් ලබා සිටිති. එහෙත් අඩුම තරමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හත් දෙනකුවත් ටෝකියෝ පැරලිම්පික් උලෙළ සඳහා සුදුසුකම් ලබාගනු ඇතැයි තමන්ගේ අපේක්‍ෂාව බව ශ්‍රී ලංකා පැරලිම්පික් කමිටුව කියයි. 

දිනේෂ් ප්‍රියන්ත හේරත් (හෙල්ල විසිකිරීම - එෆ් 46), සමිත දුලාන් (හෙල්ල විසිකිරීම - එෆ් 44), සම්පත් බණ්ඩාර (දුන්නෙන් විදීම) ටෝකියෝ පැරලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබාගත් සෙසු ක්‍රීඩකයෝ වෙති. 

ටෝකියෝ පැරලිම්පික් ක්‍රීඩා උළෙල අගෝස්තු මස 24 වැනිදා සිටි සැප්තැම්බර් මස 5 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. 


අදහස් (1)

මහේෂ් පැරලිම්පික් කඩුල්ල පනී
  • Kumara Saturday, 08 May 2021 06:55 AM

    සුබ පැතුම් ..! තෙරුවන් සරණයි...!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.