Last Update  :  2024-04-26 17:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කොළඹ දිස්ත්‍රික් මල්ලවපොර සංගමයෙන් විරෝධතාවක්

කොළඹ දිස්ත්‍රික් මල්ලවපොර සංගමයෙන් විරෝධතාවක්

නාමල් පතිරගේ - 2020 ඔක් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ නිලවරණයේදී (2020–22) මහනුවර හා ගම්පහ යන දිස්ත්‍රික් මල්ලවපොර සංගම් දෙකකට ලබාදෙන ඡන්ද ගණන වැඩි කිරීම හා එම සම්මේලනයේ විශේෂ මහ සභා රැස්වීමට දූෂණ චෝදනා ලැබූ බව කියන හිටපු නිලධාරීන් කිහිපදෙනකු කැඳවීමට ගත් තීරණය හෙළාදකිමින් කොළඹ දිස්ත්‍රික් මල්ලවපොර සංගමය තවත් විරෝධතාවක් ක්‍රීඩා ඇමැතිවරයාට යොමු කර තිබේ.

ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ නිලවරණයය නොවැම්බර් 30 වැනිදා පෙරවරු 10.00ට රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඒ සඳහා නාමයෝජනා කැඳවීම අනිද්දා (21) පෙරවරු 10.30ට අවසන් කෙරේ. නාමයෝජනාවලට එරෙහිව විරෝධතා ඉදිරිපත් වන්නේ නම් ඒවා බාර ගැනීම අනිද්දා දහවල් 12.30 දක්වා සිදු කරන අතර විරෝධතා විභාග කිරීමට නියමිතව ඇත්තේ එදිනම පස්වරු 4.00ටය.

රට තුළ දැනට හදිසි තත්ත්වයක් උද්ගතව තිබුණත් නිලවරණය යොදාගත් පරිදි නොවැම්බර් 30 වැනිදා පැවැත්වීමට මේ වනවිට නිලවරණ කමිටුව තීරණය කර ඇතැයි ලංකාදීපය කළ විමසුමකදී ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ වැඩ බලන ලේකම් සරත් හේවාවිතාරණ මහතා පැවැසීය.
ඒ මහතා මෙවර නිලවරණයේදී සභාපති ධුරයට නාමයෝජනා ඉදිරිපත් කිරීමට අපේක්ෂාවෙන් පසුවේ. මහනුවර දිස්ත්‍රික් මල්ලවපොර සංගමයේ සභාපති ධුරය දරන්නේ ද ඒ මහතා විසිනි.

මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා (15) ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරන කොළඹ දිස්ත්‍රික් මල්ලවපොර සංගමයේ ලේකම් එච්.එම්. ලක්ෂ්මන් මහතා නිලවරණ කමිටුව පත්කිරීම සඳහා මල්ලවපොර සම්මේලනයේ පසුගිය පාලන සමයන් තුළ දූෂණ හා අක්‍රමිකතා චෝදනා ලැබූ නිලධාරීන් මැදිහත් වීම හෙළාදකින බව පවසයි. නිලවරණ කමිටුව නිර්දේශ කරගැනීම සඳහා කැඳවූ විශේෂ මහ සභා රැස්වීමට එවැනි චෝදනා ලැබූ සම්මේලනයේ හිටපු නිලධාරීන් කිහිපදෙනකු මැදිහත් කරගෙන අතැයි ද නිලවරණයේදී ආරක්ෂා හමුදා දෙකකට අයත් මල්ලවපොර ක්‍රීඩා කමිටු සඳහා නීත්‍යානුකූල නොවන ආකාරයෙන් නියෝජිතයන් පත් කරගෙන ඇතැයි ද එහිදී කොළඹ දිස්ත්‍රික් මල්ලවපොර සංගමය චෝදනා කරයි.

නිලවරණයේදී මහනුවර දිසා සංගමය සඳහා ඡන්ද දෙකක් වෙනුවට හතරක් ද ගම්පහ දිසා සංගමය සඳහා ඡන්ද දෙකක් වෙනුවෙන් තුනක් ද වැඩි කර ඇත්තේ මහ සභාවක් කැඳවා අනුමැතියකින් තොරව බවත් එමගින් මල්ලවපොර සම්මේලනයේ වැඩ බලන නිලධාරීන් එහි ව්‍යවස්ථාව බරපතළ ලෙස උල්ලංඝනය කර ඇතැයි ද මේ සම්බන්ධයෙන් විරෝධතාවයෙන් වැඩිදුරටත් අවධාණය කර තිබේ.

බදුල්ල, කුරුණෑගල, මොනරාගල, කළුතර යන දිස්ත්‍රික් සංගම් හා යුද හමුදා, නාවික හමුදා, ගුවන් හමුදා යන සෙසු ප්‍රාදේශීය හා අනුසංගම් සඳහා මෙවර නිලවරණයේදී ලැබී ඇත්තේ එක් ඡන්දයක් බැගිනි.  කෙසේ වුවත් ගාල්ල, අනුරාධපුර, මඩකලපුව යන දිස්ත්‍රික් සංගම් සඳහාත් පොලිස් හා ආරක්ෂක හමුදා යන අනුසංගම් සඳහා මෙවර නිලවරණයේදී ඡන්ද බලය ප්‍රදානය නොවේ. එහෙත් මෙම සියලු සංගම් සඳහාත් මීළඟට යෙදෙන 2022-24 නිලවරණයේදී ඡන්ද බලය ප්‍රදානය වන බව මල්ලවපොර සම්මේලනයේ වැඩ බලන ලේකම් සරත් හේවාවිතාරණ මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් පැවැසුවේ කොළඹ දිස්ත්‍රික් මල්ලවපොර සංගමය ඉදිරිපත් කර තිබෙන චෝදනා පදනම් විරහිත බවයි.

“මහනුවර හා ගම්පහට ප්‍රදානය කෙරෙන ඡන්ද ගණන වැඩි කළේ ඔවුන්ගේ ක්‍රීඩා සමාජ සහභාගිත්වය පදනම් කරගනිමින්. මහනුවර සංගමයේ ක්‍රීඩා සමාජ 17ක් ක්‍රියාකාරීව ඉන්නවා. ගම්පහ සංගමයේ ක්‍රියාකාරී ක්‍රීඩා සමාජ ගණන 14යි. අපට චෝදනා කරන කොළඹ සංගමයේ ක්‍රියාකාරී ක්‍රීඩා සමාජ ගණන හතරකට බැහැලා තිබෙනවා. නමුත් අපි ඔවුන්ටත් ඡන්ද දෙකක් දුන්නා. මහනුවර සංගමය තමයි මේ වෙනකොට රටේ වැඩිම ක්‍රීඩා සමාජ ගණනක් නියෝජනය කරන මල්ලවපොර දිස්ත්‍රික් සංගමය වෙලා තිබෙන්නේ. ඒ නිසා ඒකට ඡන්ද තුනක් දීමේ අසාධාරණයක් නෑ. කොළඹ සංගමය එක්ක මල්ලවපොර සම්මේලනයේ එහි ඇති වෙලා තියෙන බව කියන අඩුපාඩු සාකච්ඡා කරන්න අපි ලෑස්තියි. නමුත් ඔවුන් පුරුද්දක් හැටියට විරෝධතා පෙත්සම් වගේ දේවල් ලිය ලියා ඉන්නවා ඇරෙන්න අපට අනුකූලතාවක් දක්වන්නේ නෑ” යයි ද සරත් හේවාවිතාරණ මහතා වැඩිදුරටත් පැවැසීය.

 


අදහස් (0)

කොළඹ දිස්ත්‍රික් මල්ලවපොර සංගමයෙන් විරෝධතාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.