Last Update  :  2024-04-24 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පුහුණු පාපැදි දෙක වහාම ආපසු දෙන්න කියයි

පුහුණු පාපැදි දෙක වහාම ආපසු දෙන්න කියයි

නාමල් පතිරගේ - 2020 ඔක් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ නිලධාරින්ට තරග පාවාදීමේ චෝදනා නැගීම පදනම් විරහිත බැවින් මේ වනවිට ක්‍රීඩා වැරැදි සෙවීමේ පොලිස් විමර්ශන ඒකකයේ භාරයට ගෙන තිබෙන පුහුණු පාපැදි දෙක වහාම ඔවුන්ගේ භාරයට පත් කරන ලෙස අන්තර් ජාතික පාපැදි සම්මේලනයේ සභාපති ඩේවිඩ් ලෆර්ට්සන්ට් මහතා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් දැනුම් දී සිටියි. එම ලිපියෙන් ඔහු වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකාවේ පාපැදි සම්මේලනයේ නිලධාරීන්ට එම පුහුණු පාපැදි දෙක භාරදීමට අපහසුවක් තිබේ නම් එම පුහුණු පාපැදි දෙක නොපමාව ‘ඩුබායි’ නුවර ස්ථාපිත කර ඇති ආසියානු පාපැදි සම්මේලනයේ මූලස්ථානයට භාර දිය යුතු බවත්ය.


ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඇමැතිවරයාට මෙම ලිපිය අන්තර් ජාතික පාපැදි සම්මේලනයේ සභාපතිවරයා යොමු කිරීමේ ආසන්නතම සිදුවීම වන්නේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ නේපාලයේ කත්මන්ඩු නුවර දී පැවැති 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා පාපැදි තරගාවලියයි.

ශ්‍රී ලංකාව තරගාවලියේ මවුන්ටන් පල්ලම පැදයාමේ කාන්තා ඉසව්වට කණ්ඩායමක් නිර්දේශ කර ඊට සහභාගි නොකිරීම තරග පාවාදීමක් බවට දී ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ නිලධාරින් කීප දෙනකු චෝදනා ලැබීය. ඊට සංචාරක ශ්‍රී ලංකා පාපැදි කණ්ඩායමේ කළමනාකරු ධුරය දැරූ පාපැදි සම්මේලනයේ ලේකම් ධුරය දැරූ නිහාල් කුලසේකර මහතා ද විය.

ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් ක්‍රීඩා අමාත්‍යාංශයේ නියමයෙන් විමර්ශනයක් සිදු කෙරේ. එය තරග පාවාදීමේ සිදුවීමකට සම්බන්ධ දැයි හෙළිකර ගැනීම සඳහා මේ වනවිට විමර්ශන සිදු කෙරෙන්නේ ක්‍රීඩා වැරැදි සෙවීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය විසිනි.

කත්මන්ඩු නුවර දී පැවැති සාග් ක්‍රීඩා උළෙලේ පාපැදි තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකාව වෙනුවෙන් එහිදී ආසියානු පාපැදි සම්මේලනයේ සම්බන්ධීකරණයෙන් ‘වොට්’ වර්ගයේ පුහුණු පාපැදි දෙකක් ප්‍රදානය කෙරුණි. එහි එකක වටිනාකම ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් මිලියන 1.5 කට ආසන්න වේ.
මෙම පුහුණු පාපැදි දෙක ශ්‍රී ලංකාවට ප්‍රදානය කළේ කත්මන්ඩු සාග් පාපැදි තරගාවලියේ දී ශ්‍රී ලංකාව මතභේදයට තුඩුදුන් කාන්තා පාපැදි ඉසව්වෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඉවත් කර ගැනීමට සංතෝෂමක් වශයෙන් බවට ඉදිරිපත්ව තිබුණු පැමිණිල්ලක් මත ක්‍රීඩා අමාත්‍යාංශයේ නියමයෙන් ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළේය.

තරග පාවාදීමේ කතාවේ පදනම වන්නේ අදාළ ඉසව්වෙන් ශ්‍රී ලංකාව ඉවත්වීමෙන් ඔවුන්ට දිනා ගත හැකිව තිබූ පදක්කමක් වෙනත් රටකට හිමි වූ බවයි. කෙසේ වුවත් අන්තර් ජාතික පාපැදි සම්මේලනයේ සභාපතිවරයා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඇමැතිවරයාට නොබෝදා යොමු කළ ලිපියෙන් අවධාරණය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ පාපැදි බලධාරින්ට එල්ල කර තිබෙන චෝදනාවට කිසිදු පදනමක් නොමැති බවත් පුහුණු පාපැදි ප්‍රදානය කළේ අන්තර් ජාතික පාපැදි සම්මේලනය හා ආසියානු පාපැදි සමුළුව එක්ව සංවිධානය කළ ඔලිම්පික් සහයෝගිතා වැඩසටහන යටතේ බවයි.

මේ අතර මෙම සිදුවීමට අදාළව කරුණු පැහැදිළි කරමින් පසුගිය අගෝස්තු 13 වැනිදා ආසියානු පාපැදි සමුළුවේ මහ ලේකම් ඔන්කර් සින්ග් මහතා විසින් ක්‍රීඩා වැරැදි සෙවීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට ලිපියක් යොමුකර තිබුණි. එහිදී ශ්‍රී ලංකාවේ පාපැදි බලධාරින්ට තරග පාවාදීමේ චෝදනාවක් එල්ල කිරීමට තරම් හේතුපාදක වූ සිදුවීමක්13 වැනි සාග් ක්‍රීඩා උළෙලේ පාපැදි තරගාවලියේ දී නොවූ බව එම ආසියානු පාපැදි සමුළුව තහවුරු කර තිබුණි
 
 
 

අදහස් (0)

පුහුණු පාපැදි දෙක වහාම ආපසු දෙන්න කියයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.