Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තවත් පාපන්දු ක්‍රීඩකයෝ 7 දෙනෙක් ද්විත්ව පුරවැසිභාවයට අයැදුම් කරති

තවත් පාපන්දු ක්‍රීඩකයෝ 7 දෙනෙක් ද්විත්ව පුරවැසිභාවයට අයැදුම් කරති

නාමල් පතිරගේ - 2020 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව වෙනුවෙන් පාපන්දු ක්‍රීඩාවේ නියැළීමේ අපේක්‍ෂාවෙන් විදේශයන්හි කල් ගෙවන ශ්‍රී ලාංකික සම්භවයකින් යුත් තවත් ක්‍රීඩකයෝ හත් දෙනකු ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය සඳහා අයදුම්කර ඇතැයි වාර්තා වේ.  ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය නිවේදනය කරන පරිදි ජර්මනිය, ප්‍රංශය, බ්‍රිතාන්‍ය, කැනඩාව, නයිජීරියාව යන රටවල පුරවැසියන්වන ඔවුන් මෙරට ක්‍රියාත්මක වන ජාතික පාපන්දු සංචිත සඳහා ඇතුළත් වෙමින් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩා කිරීමේ අපේක්‍ෂාවෙන් ද්විත්ව පුරවැසිභාවය ඉල්ලුම් කර තිබේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පාපන්දු කිරීමේ අටියෙන් ද්විත්ව පුරවැසි බව අයදුම් කළ  ශ්‍රී ලාංකික සම්භවයකින් යුත් ක්‍රීඩකයන් පස් දෙනකුට ඉකුත්දා ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය හිමිව තිබේ.  

මේ අතර ක්ලෝඩියෝ මැතියස් කැමර්ෆම්ට් (ජර්මනිය), කැනිස්ටර් රෙගීස් (ප්‍රංශය), කෙලී ගැරට් ක්‍රිස්ටෝපර් (බ්‍රිතාන්‍ය), මනිමෙල්දුර ලියොන් පෙරේරා (ජර්මනිය), ටිෆාන් ඇන්තනිපිල්ලෙයි (කැනඩාව), චිකරෙයුබා ටොඩොන්චු ෆ්‍රැන්සිස් (නයිජීරියාව), ෂොෆනිකසන් තිලුෂාන් (ජර්මනිය) යන ක්‍රීඩකයන් හත්දෙනාගේ අයදුම්පත් පිළිගතහොත් ජාතික පාපන්දු සංචිතය සඳහා විදේශයන්හි කල් ගෙවන ශ්‍රී ලාංකික සම්භවයකින් යුත් ක්‍රීඩකයන් 12 දෙනකුට ජාතික පාපන්දු සංචිතයට ඇතුළත්වීමේ අවස්ථාව තහවුරු වනු ඇත.  මෙම ක්‍රීඩකයන් වයස 18 සිට 27 දක්වා වන වියේ පසුවේ. මේ වනවිට ඔවුන් කල් ගෙවන රටවල ක්‍රීඩා සමාජ හා පසුපෙළ ලීග් පාපන්දු තරගමාලා සඳහා සහභාගි වන්නෝ වෙති.

මේ අතරින් 27 හැවිරිදි ටොඩොන්චු ෆ්‍රැන්සිස් දැනටත් ශ්‍රී ලංකාවේ ශූරයන්ගේ තරගාවලියට ක්‍රීඩා කරන අඩි 6 අඟල් 3 උසැති ක්‍රීඩකයෙකි. ඒ කොළඹ ජාවාලේන් ක්‍රීඩා සමාජය නියෝජනය කරමිනි.

ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය අයදුම්කර සිටින කෙලී ක්‍රිස්ටෝපර් බ්‍රිතාන්‍යවාසියකු වන අතර දැනට ක්‍රීඩා කරන්නේ ග්‍රීසියේ සිව්වැනි පෙළ ලීග් පාපන්දු තරගාවලියටයි.
ශ්‍රී ලංකාවේ සේවය කරමින් සිටින බොස්නියානු පාපන්දු පුහුණුකරු අමීර් ඇලජික් මහතාගේ උපදෙස් පරිදි එතෙර කල් ගෙවන ශ්‍රී ලාංකික සම්භවයකින් යුත් පාපන්දු ක්‍රීඩකයන්ගේ සේවය ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමට ලබාගැනීම මෙම ද්විත්ව පුරවැසිභාවය පිරිනැමීමේ අරමුණයි.

යුරෝපීය පාපන්දු ක්‍රීඩාවේ නියැළී සිටින ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් කෙරෙහි විශේෂයෙන්ම අවධානය යොමුකරන බවත් ඔහු පැවසීය. ජාතික පාපන්දු පුහුණුකරු අමීර් ඇලජික් මහතා එම ධුරය හැරෙන්නට පාපන්දු ජාතික තාක්‍ෂණික අධ්‍යක්‍ෂවරයා ලෙසත් කටයුතු කරයි.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ප්‍රධාන ඉලක්කය වන්නේ පූර්ණ ලෙස ප්‍රතිසංවිධානය කළ ශ්‍රී ලංකා (ජාතික) පාපන්දු කණ්ඩායමක් ලබන වසරේ පැවැත්වීමට අපේක්‍ෂිත දකුණු ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය සඳහා ඉදිරිපත් කිරීමය.

පසුගිය පෙබරවාරි මාසයේ සිට ශ්‍රී ලංකාවේ රාජකාරි ආරම්භ කළද ජාතික පාපන්දු පුහුණුකරු අමීර් ඇලජික් මහතාට මෙතෙක් ජාත්‍යන්තර තරගයකදී ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට උපදෙස් දීමේ අවස්ථාව ලැබී නැත.

ශ්‍රී ලංකාව සහභාගීවීමට නියමිතව තිබෙන ලෝක කුසලාන (2022) ආසියානු කලාප දෙවැනි වටයේ තරග තුනක් ලබන වසර මාර්තු මාසය දක්වා කල් දමා තිබේ.

ශ්‍රී ලංකාව සහභාගී වූ අවසන් ජාත්‍යන්තර පාපන්දු තරගය වසර 2019 ජනවාරි 19 වැනිදා ‘ඩකා’ නුවරදී සත්කාරක බංගලාදේශයට එරෙහිව පැවැත්වුණි. එහිදී ශ්‍රී ලංකාව ගෝල 3-0 ක පරාජයක් ලැබීය. එය ‘බන්ගබන්දු’ තරගාවලියට අයත් තරගයකි.

එය එතෙක් ශ්‍රී ලංකා පාපන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ මොහොමඩ් රූමි පකිර් අලි මහතා සිය පුහුණුකරු ධුරයේ කටයුතු කළ අවසන් ජාත්‍යන්තර පාපන්දු තරගයද විය.

 


අදහස් (0)

තවත් පාපන්දු ක්‍රීඩකයෝ 7 දෙනෙක් ද්විත්ව පුරවැසිභාවයට අයැදුම් කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.